ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරී ඇත්තේ ගෑස් සමාගම් වල වරදින් බව හෙළිවේ
පසුගියදා මෙරට ගෘහස්ථ ගෑස් කාන්දුවීම් වලින් ඇතිවූ පිපිරීම් හා එම පිපිරීම් වලින් ඇති වූ මරණ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ජනපති කොමිෂමේ වාර්තාව ප්‍රසිද්ධියට පත්ව තිබේ.එම ජනපති කොමිෂම පත් කරන ලද්දේ එවකට ජනපති වරයා ලෙස කටයුතු කළ මිල්ටෙරි නන්දසේන වන අතර ඔහු වෙත එම කොමිෂම විසින් ලබා දෙන වාර්තාව වසන් කර ගෙන සිටි නමුත් තොරතුරු කොමිෂමේ මැදිහත් වීම නිසා එය මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත.
2021 නොවැම්බර් මාසයේ 1 දින සිට දෙසැම්බර් මාසයේ 15 වන දක්වා මෙලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර් භාවිතයේදී පිපිරීම් 730 කට ආසන්න ප්‍රමාණයක් සිදු වූ බවට පොලිස් වාර්තා වල දැක්වේ.ඒ දිනවල ආණ්ඩුව ප්‍රචාරය කරන ලද්දේ මෙවැනි පිපිරීම් සාමාන්‍ය දෙයක් බවටය.එහෙත් ජනතාවගේ විරෝධතාව උත්සන්න වීම සමගම එම පිපිරීම් සම්බන්ධව සොයා බලා වාර්තා කිරීමට විද්‍යාඥයන් ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට සිදු විය.එවකට පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා වූ තුෂාන් ගුණවර්ධන ප්‍රකාශ කරන ලද්දේ මෙම පිපිරීම් වල ට හේතුව ගෑස් සමාගම් පෙරට වඩා වැඩි ප්‍රොපේන් නම් රසායනික ද්‍රාවනය වැඩි එල්පී ගෑස් සිලින්ඩර් අලෙවි කිරීම බවය.එම අනාවරණය කිරීම හේතුවෙන් ඔහුට මුහුණ පෑමට සිඳු වූ මර්ණීය තර්ජන හේතුවෙන් ඔහු මෙරටින් ඕස්ට්‍රේලියාවට පලා ගියේය. එහෙත් ඔහුගේ අනාවරණය කිරීමට එරෙහිව ගෑස් සමාගම් ප්‍රකාශ කරන ලද්දේ ගෑස් සංයුතියේ වෙනසක් නිසා පිපිරීම් ඇති වූ බවට විද්‍යාත්මකව තහවුරු වී නැති බවය.එහෙත් මේ වන විට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකම ගෑස් සංයුතියේ බියුට්‍රේන් ප්‍රමාණය සියයට 80 සිට 50 දක්වා අඩු කර ප්‍රොෆේන් ප්‍රමාණය වැඩිකර තිබූ බව මිල්ටෙරි නන්දසේන පත් කළ විද්‍යාඥ කමිටුව සිය වාර්තාව මගින් අනාවරණය කර තිබේ.මෙලෙස ෆ්‍රොපේන් ප්‍රමාණය අධික වීම නිසා ගෑස් සිලින්ඩරය තුළ පීඩනය වැඩිවී ඉන් පිටවන ගෑස් අධික ප්‍රසාරණයකින් මුදා හැරෙන බවද එම කමිටු වාර්තාවේ දැක්වේ.එම අධික ප්‍රසාරණයට ඔරොත්තු දෙන ආකාරයේ ගෑස් ලිප් හා උපකරණ මෙරට භාවිතයේ නැති බවද එහි සඳහන්ය.මෙරට ගෘහස්ත ගෑස් භාවිතය මිලියන 5.1 පවුල් අතරින් සියයට 40 ක් බව අනාවරණය වේ.මෙම පිපිරීම් සිදු වන කාලයේදී එවකට පාරභෝගික කටයුතු අමාත්‍යවරයා වූ ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලද්දේ සාමාන්‍යයෙන් දිනකට පිපිරීම් 10 ක් වාර්තා වෙමින් පැවති බවය.එහෙත් මෙරට ජනතාව බිය වැද්දූ හා ජීවිත අනතුරට ලක් කරන ලද ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම්වල ප්‍රධානින්ට එරෙහිව මෙතෙක් රජය කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් නොගැනීම කණගාටුදායකය. මෙතෙක් එම සමාගම් වලට එරෙහිව නඩු පැවරීමක්ද කර නැත.
Comments
Post a Comment