කෙහෙළියට බඩ එළිය යනවා යැයි බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට පවසයි
බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකු හෝ සැකකරුවකු පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වෛද්‍ය වාර්තා නිල මුද්‍රාව සහිත බන්ධනාගාර ලිපි ශීර්ෂ වල සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවත් විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්වය සඳහන් කර කුඩා කඩදාසි කැබැල්ලක සටහන් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තම අධිකරණය සෑහීමකට පත් නොවන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පසුගියදා (29)පැවසීය.මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොන්ද වේදනාව,දනහිස් වේදනාව,හා බඩ එළිය යාම වැනි රෝගී තත්වයන්ගෙන් පෙළෙන බැවින් මෙදින අධිකරණයට ඉදිරිපත් නොකරන බවට බන්ධනාගාර නිළධාරීන් විසින් කුඩා කඩදාසියක ලියන ලද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරයා එලෙස පැවසීය.මින් ඉදිරියේදී එලෙස කඩදාසි කැබලි වල ලියන ලද වෛද්‍ය වාර්තා තම අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර නිළධාරීන්ට එහිදී දැඩිව අවවාද කෙරුවේය.විත්තිකරු වහාම කොළඹ ජාතික රෝහළෙහි කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර ඔහුගේ රෝගී තත්වය ගැන විධිමත් වෛද්‍ය වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරී වෙත වැඩිදුරටත් විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ එනම් 2010 වර්ෂයේ පැවැති ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍යතාවක් නොතිබියදීත් රුපියල් 9900000ක් වැය කර ජීඅයි බට 600ක් මිලයට ගැනීම ඇතුළු චෝදනා කර ඔහු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබේ.
Comments
Post a Comment