ජනපති අනුර සහෝදරයා බය වෙලාද

 


ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීම සදහා කතිරය ගැසූ බොහෝ පුරවැසියන් අපේක්ෂා කෙරුවේ "චණ්ඩි" ආණ්ඩුවකි.චණ්ඩි ආණ්ඩුව යන්නෙන් ⁣අප අදහස් කෙරුවේ පාතාල අපරාධ වලට ඉඩක් නැති පසුගිය ආණ්ඩුවල සිටි පෝරිසාද ජාවාරම්කාරයන් ලහි ලහියේ වැලිකඩ දක්කන නීතිය අකුරටම ඉටු කරන රාජ්‍ය මැදිහත්වීමය.ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීමට⁣ පෙල ගැසුන පුරවැසියන් කෑම බීම මිල ගණන් අඩු කරන ලෙස ඉල්ලුවේ නැත.මෙරට ආර්ථිකය බිමට සමතලා කළ පෝරිසාද දේශපාලඥයන්ට දඬුවම් දීමට ජාජබ ආණ්ඩුව හැකි වෙනු ඇති යැයි පුරවැසියන් ගේ විශ්වාසය විය. ජාජබ ආණ්ඩුව පිහිටුවා මාස හයක් ගෙවී යද්දී පාක්ෂිකයන් තමන් බොහෝ අපේක්ෂාවන් තුළ පිහිටවූ ආණ්ඩුව දෙස සැකයෙන් බලන වටපිටාවක් මේ වන විට නිර්මාණය වී තිබේ.

පසුගිය ආණ්ඩුවල සිටි දූෂිත කෙරුම්කාරයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව සත්‍යයකි.
එසේ නඩු පවරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නන් බොහෝ දෙනෙකු කල් ගෙවන්නේ බන්ධනාගාර රෝහලේය.පසුව ඇප මත මුදා හැරේ.එම ක්‍රියාවලිය පිළිබඳවත් පුරවැසියන් හට ඇත්තේ සැකයකි.මේ සැකකරුවන් ඇප මත මුදා හැරෙන්නේ ඔවුන් වෙත එල්ල වී ඇති චෝදනාවන් හි බර අනුවය.එය ප්‍රශ්ණයක් නොවේ.පුරවැසියන්ට මතුවී ඇති ප්‍රශ්ණය මේ නඩු විභාගය කල් යාමය.කල් යන මේ නඩු කෙළවර වන්නේ නිදොස් කොට නිදහස් කිරීමෙන් විය හැකි යැයි පුරවැසියන් ගේ අදහසයි.ඒ සිතීම මෙරට සමාජයේ ඉතිහාසයේ ලද අත්දැකීම් ගලපා ගැනීමකි.

විපක්ෂය මේ වන විට බූමිතෙල් ගෑවුන ගැරඬින් සේ ⁣දඟලන්නට හේතුවී ඇත්තේද ජාජබ ආණ්ඩුවෙන් දූෂිතයන් හට සිඳු කරන නඩු පැවරීමය.ඒ නිසාම විපක්ෂය අතට අසුවන ගොම කැට කැබිලිති වලින් පවා ආණ්ඩුවට පහර දෙන්නේය.මේ පහර දීමෙන් ආණ්ඩුව බිමට සමතලා නොවන බව ඔවුන් දනී.
එහෙත් ආණ්ඩුව අප්‍රසාදයට පත් කළ හැකි බව ඔවුන් හ⁣ට අත්දැකීම් තිබෙි.
මේ අප්‍රසාදය යාවත්කාලීනව පවත්වා ගෙන යාම තුළින් ආණ්ඩුවේ ආයුෂ කාලයේ අවසාන භාගයේදී වර්තමානයේ පැවරෙන නඩුවල තීන්දු තම පාර්ශවයට වාසි සහගත ලෙස ලබා ගත හැකි බව විපක්ෂය සිතා ගෙන සිටී.අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන කෙනෙකුට ඒ සැලසුම නිවැරිදි බවද වටහා හැකිය.මහජනතාවගේ දේශපාලන හැරවුම් සමග මෙරට අධිකරණ විනිශ්චයන්ද තීරණාත්මකව වෙනස් වී ඇති බවට ඉතිහාසය පවසයි.ඒ සඳහා ඇති ප්‍රබලම උදාහරණය මහින්ද රාජපක්ෂට එරෙහිව සුනාමි මුදල් වංචාව සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නිදහස් කළ ආකාරය ගැන හිටපු අගවිනිසුරු වරයා විසින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයයි.

කෙසේ වෙතත් ආණ්ඩුව මේ දින ගණනට කෙට්ටු වී තිබෙන බව ඒ බොහෝ දෙනාගේ අදහසයි.ජාජබයේ නායකයන් ආණ්ඩුව පිහිටුවීමට පෙර පුරවැසියන් වෙත දුන් පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත්  ආණ්ඩුවට තමන් සතුව පවතින පාර්ලිමේන්තු බලය පිළිබඳවත් අදහසක් නැති බව ⁣එහි ක්‍රියාකාරිත්වය තුළින් අවධාරණය වේ.ආණ්ඩුවේ සිටින්නේ එකම කෙරුම්කාරයෙක් පමණක් බවද ඒ ජනපති අනුර සහෝදරයා පමණක් බවද දැන් සමාජය තුළ කතා බහ වෙමින් පවතී.අනුර සහෝදරයා නැතිනම් ආණ්ඩුව කපෝතිය යන්න ඉන් ඇඟවේ.සිය
පාක්ෂිකයන් තුළ ආණ්ඩුකරණය පිළිබඳව වූ ඒ කඩි කුලප්පුව ළදරු වලිප්පුවක් ලෙස ආණ්ඩුවේ කෙරුම්කාරයන් කල්පනා කළ බවද සිතන්නට පුළුවන

එහෙත් මේ වන විට විපක්ෂ වෙතින් ඉතා උස් හඩින් නැගෙන විවේචන ආණ්ඩුවේ පාර්ශවයන්ට දරා ගත නොහැකි තරමට බරපතල වී⁣ තිබෙන බව පැහැදිලිය.එය තහවුරු වන්නේ අද දින (28)ජනපති අනුර සහෝදරයා සිය මුහුණු පොතේ සඳහන් කරන් ඇති සටහනෙන් ඒ යථාර්තය හෙළි කෙරෙන බවට අපට සිතේ.⁣ඔහු එහි මෙසේ සඳහන් කර තිබුණි.

"සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැත"

මේ සටහන ලියා ඇත්තේ අනුර කුමාර සහෝදරයාය.ඉන් හැඟවෙන්නේ ජාජබ ආණ්ඩුවට එරෙහි විරෝධතාවන්  ජනපතිවරයා පවා කම්පනයට පත් කරවන බවය.මෙහිදී අපට මතක් වෙන්නේ ලෙවුකේ මැතිඳු අද තනියම  වෙල මැද්දේ කවියයි.

ජාජබ ආණ්ඩුව බලයට පත් වූ දින සිට ආණ්ඩුව ගණුදෙනු කෙරුවේ හා විශ්වාසය තැබුවේ පරණ ආණ්ඩුවල සි⁣ටි දූෂිත රාජ්‍ය නිළධාරීන් සමගය.මේ දූෂිත නිළධාරීන් ජාජබ ආණ්ඩුවට බලයට පත් වන විට සිටයේ දැඩි තැති ගැන්මකිනි.
බියකිනි.එහෙත් ආණ්ඩුව පිහිටුවී⁣මෙන් පසුව පත් කරන ලද ඇමතිවරුන් ඒ දූෂිතයන් ගේ කරට අත දා ගනිමින් ඔවුන් හුරතල් කරන්නට පටත් ගත්තේය.
ඔළුව ගිණි ගනිමින් තමන්ට කෙල වෙනු ඇතැයි සිතා සිටි බොහෝ දූෂිත නිළධාරීන්ට  ජාජබ ආණ්ඩුවේ මේ අහිංසක කම මාර විනෝදයක් අත් කර දෙන්නක් විය.ජනපතිවරයා ගේ මැදිහත් වීම පවා ඉතා සැහැල්ලු බව ඔවුන්ට පෙනී ගියේය.

නීතිපතිවරයා නීතිය පාලනය කරන්නට පටන් ගත්තේය.පොලීසියේ ⁣වැඩ බලන පොලිස්පතිට පොලීසිය ඇහුම්කන් නුදුන්නේය.අධිකරණය විකාරයක් විය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා අන්ත දූෂිතයකු ලෙස අනාවරණය වී තිබියදි ජනපතිවරයා ඔහුට නිදහසේ විශ්‍රාම යාමට ඉඩ දුන්නේය.මෙරට සිදු කෙරෙන ලද බරපතල අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව තමන් බලයට පත් වීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරන බව ජාජබ ආණ්ඩුව පොරොන්දු වී තිබුණි.
ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව එම ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා බව ප්‍රකාශ කරමින් හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගැණිනි.එහෙත් මේ වන විට ශානි අබේසේකර ගේ පත්වීම ඇස් බැන්දුමක් බව හෙළි වී තිබේ.ඒ මන්ද යත් ශානි අබේසේකර පාලනය කිරීමට ඉහළින් පත් කර ඇත්තේ රාජපක්ෂවරුන් හා බඩ බැඳ ගත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව නිසාය.මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ බිරිඳ පොදු ජන පෙරමුණේ නීති උපදේශකවරියයි.පසුගිය ආණ්ඩුකාලයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම විහිළුවක් බවට තහවුරු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ පවතින එම වටපිටාවය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශයන්ද  තවමත් පාලනය කරන්නේ  රාජපක්ෂවරුන්ගේ සමීපතමයන්ය.
ඔවුන් ජනපතිවරයාට හා ජාජබ ආණ්ඩුවේ ඇමතිවරුන්ට නිල ආචාර සමාචාර කළද ඔවුන් බොහෝ දෙනෙකුගේ ඔළුවේ ලෙන්ගතු කම ඇත්තේ රාජපක්ෂවරුන්⁣ වෙතය.

පසුගියදා නීතිපතිවරයා මේ වන විට අත් අඩංගුවේ සිටින පිල්⁣ලෙයාන් නිදහස් කිරීමට ලිපි ලේඛන සකස් කෙරුවේය.
මේ සූදානම ජනපතිවරයාට දැනගැන්මට ලැබීමෙන් පසුව නීතිපති වරයාගෙන්  ඔහු නිදහස් නොකරන බවට "ඉල්ලා සිටි" බව අනාවරණය වේ.නීතිපති දෙපාර්තමේන්තුවේ ජාජබයට හිතවත් ඡ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය සොලිස්ටාර්  ජනරාල්වරයකු ⁣ලියුම්කරු සමග පැවසුවේ ජනපති අනුර සහෝදරයාගේ මේ ඉල්ලීම නීතිපතිවරයා එතරමි බරපතල ලෙස සැළකූ බවක් පෙනෙන්නට නොතිබුණ බවය.ඉල්ලීම හා නියෝගය යනු අවස්ථාවන් දෙකකි.එහිදී එම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් වරයා උදාහරණයට ගත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය.කිසි විටක නීතිපති වෙත ඉල්ලීම් නොකළ ඔහු ගේ වචනය "නියෝගයක්"  පමණක් බවද එම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සිහිපත් කෙරුවේය.ජනපති අනුර සහෝදරයාගේ මේ හිත හොඳකමද ජාජබ ආණ්ඩුව අච්චාරු වීමට හේතු වූ බවද ඇතැමුන්ගේ අදහසයි.මේ ආණ්ඩුව ⁣හැසිරෙන්නේ ඉතිහාසය නොදන්නා ගානටය.වර්තමානයේ දේශපාලන භූමියේ සිදු වෙමින් පවතින හැම දෙයම ⁣ඉතිහාසය නැවත පුනුරුච්චාරණයකි.එය තේරුම් නොගන්නා විට ආණ්ඩුවේ ආයුෂය කෙසේ වෙතත් සරීර සෞඛ්‍ය යහපත් නොවනු ඇත.ආණ්ඩුව ගොඩ දාගන්නට ජනපති අනුර සහෝදරයා ගන්නා උත්සාහයද සුළු පටු නැති බවද අපි දනිමු.එහෙත් ඔහු දැන් හැදෑරිය යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුකරණයේ කලාවය.ඔහුගේ වචනය තනි හා සෘජු ප්‍රකාශනයක්ම විය.ඉන් පි⁣ටස්තර කිසිදු විවේචනයක් නොවීය.

මේ ලියුම්කරුට ඒ ගැන අපූරු අත්දැකීමක් තිබේ.ඒ කාලයේ පැවැති පලාත් පාලන මැතිවරණයකින් පසුව එක පලාත් පාලන ආයතනයක සමාන වැඩි ඡන්ද ලබා ගත් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් දෙදෙනෙකු විය.මේ දෙදෙනාම එම පලාත් පාලන ආයතනයේ සභාපති කමට කුකුල් පොර අල්ලන්නට විය.ඒ කුකුල් පොරය මාධ්‍ය වලට තළු මැරිය හැකි රස පුවතක් වීමත් සමගම දෙදෙනාගේ ආරවුලද කෙළවරක් නොවීය.මේ අපේක්ෂකයන් දෙදෙනා අරලිය ගහ මන්දිරයට කැඳවාගෙන එන ලෙසට මේ ලියුම්කරුට උපදෙස් ලැබුණි.එක්තරා උදෑසනක මේ දෙදෙනා රැගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අරලිය ගහ මන්දිරයේ කාර්යාලයට ලියුම්කරු ගියේය.ඔහු කාර්යාලය⁣ට පැමිණ දෙදෙනාම ඇතුළට කැඳවූවේය.ගත වූයේ විනාඩි දෙක තුනකි අර අපේක්ෂකයන් දෙදෙනා සමග ඔහු නැවත එළියට ආවේ "මුන් දෙන්නගෙ බොරුනේ .මේ යස අගේට කියන්නෙ අපි දෙන්න අවුරුදු දෙක බෙදාගෙන කරනවා කියලා" යැයි පවසමිනි.

එහෙත් එහිදී සිදූ වූ සිද්ධිය අනාවරණය වූයේ පසුවය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඒ අපේක්ෂකයන් දෙදෙනා සිය නිල කාමරයට ගත් විගස කර ඇත්තේ දෙදෙනාටම තඩි කණේ පාරවල් දෙකක් දීමය.ඉන්පසු දෙදෙනා සභාපති කම් දැරිය යුතු කාලය පිළිබඳව නියෝග කර තිබේ.
එච්චරය.ප්‍රශ්ණය විසඳුනි.⁣ඒ සිදුවීම ගැන පසුව ලියුම්කරුට කීවේ මේ අපේක්ෂකයන් දෙදෙනා අරලිය ගහ මන්දිරයට ගෙන එන ඒම සම්බන්ධීකරණය කළ මන්ත්‍රීවරයාය.

⁣කෙසේ වෙතත් ආණ්ඩුවේ උදාසීන මැදිහත් වී⁣ම නිසා සේලයන් ලැබුණ දූෂිත රාජ්‍ය නිළධාරීන් දැන් ඉන්නේ ඇමතිවරුන්ගේ නියෝග පවා නොතකන ආකාරයටය.
ඇමති ලාල් කාන්ත ගේ ගැලරිය පිනවන කයිවාරු හෝ ජනමාධ්‍ය ඇමති නලින්ද ගේ උද්දච්කම පුරවැසියන් සළකන්නේ අමු ජෝක් විදියටය.එය එසේ වන්නේ ආණ්ඩුවේ ඇමතිවරුන් ඇඟට දැනෙන තරමේ මැදිහත් වීමක් නොකළ නිසාය.
මෙතෙක් දවසක් ඇමතිවරුන් සිදු කරන ලද මැදිහත්වීම් සියල්ල විකාර සහගත විය.ඒවා විපක්ෂයේ විවේචන වලට සපයන ලද තුරුම්බුය.රාජ්‍ය පරිපාලනයේ නිලමක්කාරයන් දැන්ම තෝන් ලණුවකින් ගැට ⁣ගසා⁣⁣ නොගත හොත් ඔවුන් දැන් දැන් සිදු කරන රාජකාරිමය වගකීම් වලින් මඟ හැරීම වලක්වා ගත හැකිය.බොහෝ දෙනා රාජකාරිමය වගකීම් ඇඟට නොගන්නේ වෙනත් ආණ්ඩුවකදී තමන් වැලිකඩ දක්කාගෙන යා හැකියැයි  තිබෙන බිය නිසාය.වෙනදා ඇමතිවරුන් රාජ්‍ය පරිපාලනයේ⁣ ඡ්‍යෙෂ්ඨයන් සමග රාජකාරි කෙරුවේ පුකට අමුඩය වාගේය.
එහෙත් ජාජබ ඇමතිවරුන්ගේ මහේශාක්‍ය රැස් වලල්ල ඔවුන් භීතියට පත් කර තිබෙන බව නම් රාජ්‍ය සේවාවෙන් අසන්නට ලැ⁣බේ.මේ දෙපාර්ශවය අතර කොන්දේසි විරහිතව විශ්වාසය ගොඩ නගා ගත යුතුමය.

මේ ආණ්ඩුවෙන් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් අට දෙනෙක් හා තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙක් ආරක්ෂාව සපයන මාධ්‍යවේදියෙකු දවසේ හැම පැයකම සමාජ මාධ්‍ය තුළින් ආණ්ඩුවේ රෙදි ගලවමින් සිටී.පසුගියදා අධිකරණය මගින් අපරාධ නඩු පැවරිය යුතු බවට නියෝග කළ හිටපු ඇමති ටිරාන් අලස් හ⁣ට විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විස්සකට අධික සංඛ්‍යාවක් ආරක්ෂාව සැපයේ.මේ සෑම තක්කඩියෙකුම ආරක්ෂාව සපයා ගන්නේ තමන්ට පාතාලය වෙතින් තර්ජනය ඇතැයි බව සඳහන් කරමිනි.එහෙත් එහි සැබෑව එය නොවේ.තමන්ට පාතාලයෙන් තර්ජන ඇතැයි සඳහන් කරන බොහෝ දෙනෙකු පාතාල අපරාධ කරුවන් සමග ගනුදෙනු කරන්නන්ය.මෑතකදී ඩුබායි රාජ්‍යයේ ජීවත්වන එවැනි නාමධාරී පාතාල අපරාධකරුවකු මේ ලියුම්කරු සමග අපූරු කතාවක් පැවසුවේය.

"ලොක්කා ඊයේ පෙරේදා දවසක මං ගනුදෙනු කරන ඕඅයිසී කාරයෙක්
මට මාර කොන්ත්‍රාතුවක් දුන්නා.මට මාලිමාවෙ කැරැක්ටර් එකක ෆෝන් නම්බරයක් දීල කිව්වා එයාව මාරු කෙරුවොත් ලක්ෂ පනහක් දෙනව කියලා.මාත් ඉතිං ඒ විදියට කෙරුවා.ඕඅයිසී ලොක්ක ගැහැව්වෙ ගේමක් කියල මට තේරුනා.මුන් නියම බඩු ලොක්කා."
 
මේ පාතාල අපරාධකරු පැවසූ එම කතාව සත්‍යයක්දැයි මේ ලියුම්කරු සොයා බැලුවේය.වැඩේ ඇත්තය.දැන් ඒ ඕඅයිසී මාලිමාවේ දේශපාලනයේ විශ්වාසවන්තයකු වී සිටී.ඔහු එම පොලිස් බල ⁣ප්‍රදේශයෙන් ස්ථාන මාරු වී සිටීමට ගැසූ සැළසුම ඉතා හොඳින් වැඩ කර තිබේ.එහෙත් ජාතික බුද්ධි සේවා වාර්තා තුළ ඇත්තේ මෙම ඕඅයිසී ජරා බායියකු බවය.මේ නිසාම බුද්ධි අංශ වලින් සැපයෙන  තොරතුරු ජනපතිවරයා දැනු⁣වත් නොකෙරෙන තරමට වැඩේ සීරියස් වී ඇති බව නම් තහවුරුය.වැඩ බලන පොලිස්පතිවරයාට වඩා හිටපු පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ජාජබ ආණ්ඩුවට ගැලපේ යැයි අපට සිතේ.⁣අපගේ මේ සිතීම ඇතමුන්ට විහිළුවක් වන්ටද පුළුවන.එහෙත් අප මේ ලිව්වේ සිරාවටමය.ඒ හිටපු පොලිස්පති වෙත පැවරෙන හොඳ හෝ නරක රාජකාරිය ආණ්ඩුවට ගැලපෙන විශ්වාසයෙන් සිදු කළ හැකි බවට ඔහුගේ පැටි කිරියෙන් වටහා ගත හැකි නිසාය.දැන් සිටින උන්දෑ පතෝල වැටකොළුය.ඔහුට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහත් ඕනෑය.සජිත් ප්‍රේමදාසගේ හිත රිදවන්ටත් බැරිය.නාමල් බබා ගැන හොයා බලන්නටත් ඕනෑය.⁣ජාජබ ආණ්ඩුවේ කෙරුමකාරයකු අහවල් රාජකාරිය කරන්න යැයි මුන්දෑට නියෝග දෙන්නේ නැති නිසා මුන්දෑ රාජකාරි කරන්නේ ගමේ වින්නඹු අම්මා වගේය.
 
ජාජබ ආණ්ඩුවට වී මෙතරම් කෙල වීමක් සිද්ධ වී ඇත්තේ ආණ්ඩුකරණයේ පවතින මෙන්න මේ තේරුම් නොගැනීම නිසාය.
ඒ අතරේ ආණ්ඩුවේ සමීපතමයන් බවට පත්ව සිටින දූෂිතයන් ඉහළ තනතුරු වලට පත් වීම සඳහා ජාජබයේ මැති ඇමතිවරුන් ඇන්දීමද කෙළවරක් නැත.
සැබැවින්ම විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ල කෙරෙන චෝදනා සිල්ලර බයිලාය.ඒවායේ ගත යුත්තක් නැත.⁣නාඩු හාල් වලින් පටන් ගත් ඒ චෝදනා බිත්තර හරහා ලුණු දක්වා ගෙන එමින් විපක්ෂය ලකුණු දමා ගත්තේ ආණ්ඩුවේ නොහැකි බවට සමාජ අදහසක් ගොඩ නගමිනි.
බොරුව වුවද දිගින් දිගටම එකම ස්වරයෙන් කියවෙන විට එය සත්‍යයක් බවට තහවුරු වන ගොබල්ස් න්‍යායෙන් විපක්ෂය සැම විටම ගොඩ ගියේය.ඒ බොරුවට එරෙහිව ආණ්ඩුවෙන් සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල නොවීය.හෙට දවසේත් සිද්ධ විය හැක්කේ මේ කෙරුවාවමය.

සැබැවින්ම ජනපති අනුර සහෝදරයා පවා ආණ්ඩුවට එරෙහිව නිර්මාණය වී තිබෙන මේ වටපිටාව වටහා ගෙන තිබෙන බව සිතා ගත හැකිය.ඒ ජනපති අනුර සහෝදරයා ඔහුගේ මුහුණු පොතේ සඳහන් කළ ප්‍රකාශනයෙනි.දැන් ඉතිං සිදු කළ යුත්තේ කුමක්දැයි ආණ්ඩුවට උපදෙස් දෙන පුරෝහිතයන් වන්නට අපට බැරිය.අනේ අනිච්චං කියා බකන් නිලා ගෙන ගෙන සිටිය හොත් නම් ආණ්ඩුවට සිද්ධ වෙන්නේ පස්ස බිම ඇණ ගැනීමටය.
යුද්දයට නැති කඩුව කොස් කොටන්නදැයි අසන හරුපයක් අපේ වහරේ තිබේ.
පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 159 ක බලයක් තියාගෙන මෙච්චර හෑල්ලු වන්නේ මොන බම්බුවකටදැයි දැන් සිතිය යුත්තේ ආණ්ඩුවය.එසේ සිතීමක් නොමැති නම් පහු පහු වන විට වැඩේ කොහු වෙන බව නම් හොඳටම ෂුවර්ය

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්