අද (16) පොලිස් මාධ්‍ය කොට්ඨාශය හදිසියේම නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධ ඉතා බරපතල තොරතුරක් අනාවරණය වී තිබේ.පොලිස් මාධ්‍ය කොට්ඨාශය හදිසියේම නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ දේශබන්දු තෙන්නකෝන් සමග අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරුණ කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ඇන්සලම් සිල්වා ඇතුළු සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා ලෙසත් ඔවුන්ගෙන් ප්‍රකාශ පමණක් සටහන් කර ගන්නා ලෙසටත්නීතිපතිවරයා උපදෙස් දී ඇති බවය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා හා එහි ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා ඇතුළු වග උත්තරකරුවන් 05 දෙනෙකු W 15 හෝටලයේ සිද්ධියට අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරපත් කරන ලද්දේ පසුගිය ජනවාරි මාසයේදීය. මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස W 15 හෝටලයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ බීආර් 6314/23 නඩුවට අදාල නියෝග නිකුත් කරන ලද්දේ 2025 පෙබරවාරි මාස 27 වනදාය
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් පවසා ඇත්තේ සියළු විමර්ශකයන්ද පරිපාලකයන්ද බලධාරීන්ද ඉහළම මට්ටමින් මෙම බරපතල තත්වය සැළකිල්ලට ගත යුතු බවත් මෙවැනි තත්වයන් යලිත් සිදු නොවීමට අදාලව ගත යුතු සෑම ආකාරයකම ක්‍රියා මාර්ග ගත හැකි ඉහළම මට්ටමෙන් ගත යුතුව ඇති බවත් නිරීක්ෂණය කරමි යනුවෙන්ය.
මහේස්ත්‍රාත්වරයා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සෙසු සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරන ලද්දේද එදිනය.
කෙසේ වෙතත් ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරයා හා ස්ථානාධිපති ඇතුළු මේ සිද්ධියට අදාල සැකකරුවන් අත් අඩංගුවට පත් නොකරන ලෙසට අභියාචනාධිකරණය වෙතින් නියෝගයක් ලබා ගෙන තිබුණ බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට වසන් කෙරිණි.එසේම දේශබන්දු තෙන්නකෝන් විසින් අත් අඩංගුවට පත් වීමට වලක්වා ගැනීම පිණිස අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමේදීද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස්ද මේ නඩුවට සම්බන්ධ සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගෙන කට උත්තර පමණක් ලබා ගන්නා ලෙසට අභියාචනාධිකරණය රිට් ආඥාවක් පනවා ඇති බවට සදහන් කෙරුවේ නැත.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය කඩි කුලප්පුව වැළඳී W 15 හෝටලය සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා එකඟතාවකට පත් වී ඇතැයි සදහන් මාධ්‍ය නිවේදනය අද දින නිකුත් කරන තුරුම පසුගිය ජනවාරියේ අභියාචනාධිකරණය විසින් ලබා දී තිබූ එම නියෝගය පොලීසිය විසින් වසන් කර ගෙන තිබුණි.
සැබැවින්ම මේ වසන් කිරීමට බරපතල හේතුවක් තිබූ බව මේ වන විට අනාවරණය වී තිබේ.ඒ මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා කෙරෙන කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ සහෝදරිය වන මෙලනි සිල්වා නීතිපතිවරයාගේ ලේකම්වරිය වීමය.පොලිස් පරීක්ෂක ඇනස්ලම් සිල්වා මේ ආකාරයට ගොඩ ගිය ප්‍රථම අවස්ථාවද මෙය නොවේ.මීට ප්‍රථමද ඔහුට එරෙහිව පැවැති නඩු දෙකකින්ද ඔහු සිය නැගෙණියගේ මැදිහත්වීමෙන් මුදා හැරුණ බවට වාර්තා වී තිබෙි.ඒ හිටපු නීතිපති සංජය රාජරත්නම් ගේ කාලයේදීය.
ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා විසින් දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා ගැනීම පිණිස අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ නීතිපති කාර්යාලය නියෝජනය කළ නියෝජ්‍ය සොලිස්ටාර් ජනරාල් ජනරාල් දිලීප පීරිස් අපූරු රංඟනයක යෙදුනේ හය හතර නොදන්නා කිරි දරුවෙකු ලෙසය.ඒ වන විටත් මේ නඩුවේ සෙසු සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමට නීතිපති වරයා එකග වී ඇති බව ඔහු හොඳින් දැන සිටි බව පැහැදිලිය.ඒ බව දැන සිටියේ ඔහු පමණක් නොවන බවද මෙහිදී අනාවරණය වන තොරතුරු වලින් පැහැදිලිය.
කෙසේ වෙතත් නීතිපති ගේ බළලා මල්ලෙන් එළියට පැන්නේ අද දින පොලීසියේ මාධ්‍ය කොට්ඨාශය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය නිසාය.පොලීසිය මේ හදිසියේ එම නිවේදනය නිකුත් කරන ලද්දේ හෙට (17) අභියාචනාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත දේශබන්දු තෙන්නකෝන් විසින් තමන් අඩංගුවට ගැනීම වලක්වාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද පෙත්සමේ තීන්දුව පෙත්සම්කාර පාර්ශවයේ වාසියට ලබා දීමට බවද වටහා ගත හැකිය.
Comments
Post a Comment