සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා
පොලිස් පරීක්ෂක වරයකුව සිට සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් යොදමින් මෙසේ ලියා ඇත්තේය.
"සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂක වරයෙකුගේ හීනයක්.ඒ වගේම අභියෝගයක්.අනේක විධ අභියෝග මැද මම අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලැබීමි "
සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ භාතිය ජයසිංහ කවුරුන්ද යන්න පොලිස්පති වරයාට අමතක වී ඇතත් අපට නම් අමතක නැත.අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පැවරුණ නඩුවේ 2 වන වග උත්තරකරු මෙි භාතිය ජයසිංහ ලොක්කාය.
හිස මුදුනේ සිට දෙපතුල දක්වාම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාජබ ආණ්ඩුවෙි කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනවා තබා පොලීසියේ හතර මායිමෙි තබා ගන්නේ නැත.එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීමට පුරවැසියන් වෙත බෙදූ මාලිමා ප්‍රතිපත්ති බල්ලාට දමා ජාජබ ආණ්ඩුව ගෙන යන මෙවැනි විකාර රූපී මැදිහත් වීම් පිළිබඳව දිනපතාම අසන්නට හා දකින්නට ලැබෙන වටපිටාවක සිද්ධාලේප වදකයකුට උසස් තානාන්තරයක් දීම ගැන පුදුම විය යුතුද නැත.කෙසේ වෙතත් පොලිස්පතිවරයාට හා ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට අප ඒ නඩුව ගැන කෙටියෙන් ලියා නැවත සිහිපත් කරන්නට කැමතිය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් මෙසේය
1.පොලිස් කොස්තාපල් බණ්ඩාර
පොලිස් ස්ථානය,මිරිහාන
2.පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ
පොලිස් ස්ථානය,මිරිහාන
3.ප්‍රධාන පොලිස් පරීක්ෂක එගොඩවෙල
පොලිස් ස්ථානය ,මිරිහාන
4.අජිත් වනසුන්දර
අංක 255,මාලගල ,පාදුක්ක
5.එම්.ඩබ්.දේශබන්දු තෙන්නකෝන්
පොලිස් අධිකාරී,
නුගේගොඩ
6.මහින්ද බාලසූරිය
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ
7.නීතිපති
නීතිපති කාර්යාලය අලුත්කඩෙි
මෙම මානව හිමිකම් පෙත්සම ඉදිරිපත් කරන රංජිත් සුමංගල 2010 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින සිය රැකියාවට යමින් සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදී.ඔහු පැහැර ගැනීමට හේතුව වූයේ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් වෙත ලැබුණ නිර්නාමික පෙත්සමකින් සිදු කරන ලද පැමිණිල්ලකි.
එසේ පැහැර ගත් රංජිත් සුමංගල දඹර සූසාන භූමිය වෙත ගෙන ගොස් වද හිංසා පමුනවා ඇති අතර වරද නොපිළිගන්නේ නම් ඔහු පන පිටින් වල දමන බවට දෙවන වග උත්තරකාර පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ තර්ජනය කර තිබේ.ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ විසින් පළමු වග උත්තරකරු වූ බණ්ඩාරට මිරිස් කුඩු පිරවූ ෂොපින් බෑග් දෙකක් දී ඒවා රංජිත් සුමංගල ගේ හිස අවාරණය වන ලෙස දමන ලෙස නියෝග කර ඇත.පෙත්සම් කාර රංජිත් සුමංගල මිරිස් කුඩු ආශ්වාස කිරීමෙන් පසු මිය යාමට ආසන්න වන විට එම මිරිස් පිරවූ බෑගය හිසෙන් ඉවත් කර තිබේ.
පෙත්සම්කාර රංජිත් සුමංගලට ඉතා දරුණු ලෙස වද හිංසා පමුණුවා ඇති බවට අනාවරණය වූයේ ඔහු ඇප මත මුදා හැරීමෙන් පසුව ප්‍රතිකර ලබා ගැනීම සඳහා මාතලේ රෝහලට ඇතුලත් වීමෙන් පසුවය.මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ඔහුගේ සිරුරේ තිබූ තුවාල පොලිස් අත්අඩංගුවේදී සිදු කරන වද හිංසා සම්බන්ධයෙන් ඔහු හෙළි කළ ප්‍රකාශ වලට ගැලපිණි.
පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ ඇතුළු පොලිස් කණ්ඩායම තමන්ට විවිධ ආකාරයට වද හිංසා පැමිණවූ බව රංජිත් සුමංගල සිය පෙත්සම මගින් හෙළි කර තිබුණි.
මගේ කකුල් දෙක බැඳලා ඔළුව පහතට දාලා එතැන තිබුණ වතුර පොන්ඩ් එකට ඔබමින් හුස්ම ගන්න බැරුව දඟලන විට ගොඩ ගත්තා.නැවතත් එසේ කෙරුවා.
මිරිස් කුඩුයි පැට්රල් හා ෂොපින් බෑග් ගෙනාවා.ෂොපින් බෑග් වලට පැට්රල් දමා මූණට ඇල්ලුවා.පසුව නිරුවත් කර පුරුෂ ලිංගයේ මිරිස් කුඩු තැවරුවා.
රංජිත් සුමංගල පෙත්සමේ සඳහන් කර තිබුණි.
එවකට නුගේගොඩ පොලිස් අධිකාරී වරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් එහි පැමිණ රංජිත් සුමංගල ඇතුළු අනෙකුත් සැක කරුවන්ට රබර් හෝස් බටයකින් පහර දෙන ගමන් සිද්ධාලේප ලබා දී එය ලිංගේන්ද්‍රියන්හි ආලේප කරන ලෙසට නියෝග කර තිබේ.සැකකරුවන් එම සිද්ධා ලේප ලිංගේන්ද්‍රියන්හි ආලේප කර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම මානව හිමිකමි පෙත්සමේ වග උත්තරකරුවන් විසින් රංජිත් සුංමගල ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදි කරුවන් බවට තීන්දු විය.පෙත්සමේ වග උත්තරකාර පර්ශවය පෙත්සම්කරුවන් ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තීරණය කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය තම පුද්ගලික මුදලින් රුපියල් මිලියන දෙකක වන්දියක් වින්දිතයාට ගෙවිය යුතු බවද රජය මගින් ලක්ෂයක මුදලක් ගෙවිය යුතු බවද නියෝග කර ඇත.ඊට අමතරව වරදකරුවන් වූ පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට පොලිස් කොමිෂමට නියෝග කර තිබේ.
හරි විදියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය පරිදි පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහට
එරෙහිව පොලිස් කොමිෂම විනය ක්‍රියා මාර්ග ගත යුතුය.එහෙත් පොලිස් කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ නියෝගය අධෝවාතයක් තරම්වත් ගණන් ගෙන නැති බව තහවුරුය.
ලංකාවේ පොලිස් කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා බල පුළුවන්කාර කමින් හැබිචෝල් බව මෙවැනි සිද්ධීන් වලින් සිතා ගත හැකිය.භාතිය ජයසිංහ සහකාර පොලිස් අධිකාරී ධුරයට පත් වීම පිළිබඳව සිතන විට මෙරට නීතිය මෙතරම් වල පල්ලට වැටීම ගැන පුරවැසියන් වශයෙන් අපට දැනෙන්නේ දැඩි කම්පාවකි.කණගාටුවකි.සමහර විට අනාගතයේදී ආණ්ඩුවට එරෙහිවන හිතුවක්කාර පුරවැසියන් ගේ ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප උලා මට්ටු කරන්නට පල පුරුද්දක් ඇති පොලිස් කාරයන්ට උසස්වීමි ලබා දී තමන්ගේ වහළුන් ලෙස ලඟින් තියාගෙන ඉඳීම හොඳ යැයි "පොලිස් ඇමති ඩබල" හිතා ගෙන ඉන්නවා වෙන්නත් පුළුවන.

Comments
Post a Comment