සමෘද්ධිය කප්පාදු කොට ගෙන ආ අස්වැසුම ව්‍යාපෘතිය තක්කඩි දේශපාලන ගේමක් බව හෙළිවේ
සමෘද්ධි සහනාධාරය කප්පාදු කරමින් ආණ්ඩුව දියත් කර ඇති අස්වැසුම ව්‍යාපෘතිය දේශපාලනික කට්ට කයිරාටික වෙට්ට පිත්තල ව්‍යාපෘතියක් බව ලංකා දවසේ අදහසය.මේ වන විට සමෘද්ධි සහනාධාරය අහිමි වීම නිසා රට පුරා බොහෝ පීඩිතයන් විරෝධතා අරඹා තිබේ.පසුගිය දිනවල දේශපාලනිකව කුජීතව සිටි පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයන් සමෘද්ධි අහිමිවූවන් සමග සංවිධානගතව ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන ආකාරය දැක ගත හැකිය.මෙරට සහනාධාර මත යැපෙන සමාජය මත ආණ්ඩුව මුදා හැර ඇති අස්වැසුම බෝම්බය දේශපාලනික උපක්‍රමයක් බව තහවුරු වන්නේ මෙම වටපිටාව තුළ පොහොට්ටුවන්ගේ හිස එසවීම ගැන අවධානය යොමු කරන විටය.සමෘද්ධිය අහිමිවූවන් ආණ්ඩුවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් සමග පෙල ගැසෙන විට අස්වැසුම ලබා ගත් කණ්ඩායම ජනපතිවරයාගේ පාර්ශවය සමග කඳවුරු බඳිනු ඇත.ආණ්ඩුවට එරෙහිව සිටි සහනාධාර අපේක්ෂිත පීඩිතයන් දැන් ආණ්ඩුව තුළම කඳවුරු දෙකක රැස් වී සිටී.එය තක්කඩි දේශපාලනික උපක්‍රමයක් බව සහනාධාර අපේක්ෂිත පීඩිතයන් කිසි විටක වටහා නොගන්නා කාරණයකි.වෙනදා කක්කුස්සි කටවල් ,සෙවිලි තහඩු කොපිපොත් බෙදා දෙමින් සිය දේශපාලනික වහළුන් බවට පත් කර ගෙන සිටි පීඩිතයන් පසු ගිය දිනවල තමන් හා පැවැති බැඳීමෙන් ඈත්ව සිටි බවට පොහොට්ටු නායකයන් දැනුවත්ව සිටි බව අප අමතක නොකළ යුතුය.ඒ ඈත්වීම සිය දේශපාලනික පැවැත්ම අවදානමට ලක් කරන බවද ඔවුන් දැන සිටි කාරණයකි.දැන් ඔවුන්ට ලොතැරැයියක් ඇදී තිබේ.ඒ මෙම සහනාධාර අහිමි වූ පීඩිතයන්ට සමෘද්ධිය නැවත ලබා දීම සඳහා නායකත්වය ගැනීමෙනි.මෙම පීඩිතයන්ද දැන් කල්පනා කරනු ඇත්තේ තමන්ට අහිමි වූ සහනාධාරය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා සම්බන්ධ විය යුතු බවය.හෙට අනිද්දා වන විට රනිල් රාජපක්ෂ ජනපතිවරයාට එරෙහිව ආණ්ඩුවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන දේශපාලඥයන් විසින් මෙම සමෘද්ධි කප්පාදුව ගැන අවලාද අඳෝනා නගන අයුරු අසන්නට පුළුවන.සමෘද්ධි සහනාධාර ලබන පන්තියේ ගැලවුම්කාරයන් ලෙස ඔවුන් පෙනී සිටිනු ඇත.මේ වන විට මෙරට සමාජය තුළ රජයේ සහනාධාර ලබන්නන් ලක්ෂ හැත්තෑවක් පමණ සිටින බව පැවසේ.මෙම ලක්ෂ හැත්තෑවක් වූ සමෘද්ධි සහනාධාර ලබන්නන් ලක්ෂ තිහක් දක්වා අස්වැසුම ව්‍යාපෘතිය යටතේ කප්පාදු කරන ලදැයි වාර්තා වේ.එම සහනාධාර කප්පාදුව නිසා රට පුරා අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙන බව අමුතුවෙන් සිතිය යුතු නැත.ජනපති පාර්ශවයට හා ආණ්ඩුවේ පොදුජන පෙරමුණු පාර්ශවයට අවශ්‍ය වී ඇත්තේද රට පුරා එවැනි අර්බුදයක් ඇති වීමය.මේ වන විට බිඳ වැටී ඇති සිය දේශපාලනය නැවත කළමනාකරණය කර ගැනීමට ඔවුන් මේ අර්බුදය අවස්ථාවක් කර ගනු ඇත්තේය.මෙම අර්බුදය සැළසුම් සහගතව ආණ්ඩුව විසින් ඇති කරන ලද්දක් බව අප සඳහන් කරන්නේ ඒ නිසාය.
Comments
Post a Comment