උඹේ තරු පටි ගලවනවා යැයි මට අවුරා ලංකා සභාපති තර්ජනය කෙරුවා - රාජාංඟනය පොලිස් ස්ථානාධිපති පවසයි
සංගීතෙට අවසර නුදුන්නොත් උඹේ තරු පටි ගලවනවා යැයි තර්ජනය කරමින් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල නැමැත්තා තමාගේ රාජකාරියට බාධා කරන ලදැයි සඳහන් කරමින් රාජංගනය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ පොලීසියේ තොරතුරු පොතෙහි සටහනක් තබා ඇති බව වාර්තා වේ.
පසුගිය 10 වන දා සිට විශාල ශබ්ද වාහිනී පද්ධති හා විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් රාත්‍රිය පුරාවට රාජංගනය යාය 18 ප්‍රදේශයේ අවුරා ලංකා සමාගමේ සංවිධායකත්වයෙන් දින 20ක කාලයක් පවත්වන ලද සංගීත ප්‍රසංඟය සඳහා ලබා දී තිබූ කාලය තවත් දින හයකට දීර්ඝ කරන දෙස ඉල්ලමින් විරංජිත් තාඹුගල මෙලෙස තමාට බැණ තර්ජණය කළ බවද එහිදී පොලිස් ස්ථානාධිපති සඳහන් කර තිබේ.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සතුන්ට පීඩාකාරී තත්වයක් මතුවන බැවින් මෙම සංගීත ප්‍රසංඟයට අවසර ලබා නොදෙන ලෙසද මීට පෙර වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවා ඉල්ලා තිබුණි.මෙරට බොහෝ පරිසර සංවිධානද මේ සංගීත ප්‍රසංඟයට එරෙහිව විරෝධතාව ප්‍රකාශ කරන ලදී.එහෙත් දේශපාලන මැදිහත් වීම් හා පොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ගේ සහයෝගය මත මෙරට පවතින නීති උල්ලංඝනය කරමින් මෙම සංගීත ප්‍රසංඟය පැවැත්වීමට අවස්ථාව හිමි විය.
පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උතුරු මැද පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී දමින්ද සහ අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ උපදෙස් පරිදි අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී 111 අමිල සෙනෙවිරත්න විසින් විමර්ශනයක් අරඹා ඇති බවද වාර්තා වේ.
Comments
Post a Comment