උන් ඔක්කොම යාළුවෝ මල්ලී
එදවස යහපාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා මහත් අපේක්ෂාවන් සහිත සිටි මිනිසුන් අතර කහවත්තේ ශාන්ත දොඩංගොඩ නොහොත් ඩී.ජී.සුනිල් පෙරේරාද සිටියේය.දිනය 2015 ජනවාරි 05 වනදාය.සුනිල් ශාන්ත එදින අලුයම සිය අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් කහවත්තේ සංවිධානය කළ ප්රචාරක රැළියේ වේදිකා සැරසිලි වලට සම්බන්ධ විය.සුනිල් ශාන්ත ඇතුළු කණ්ඩායමට ඒ අවස්ථාවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් ඔහු මරණයට පත් වූයේය.ඔහුට රැස්වීම් භූමියේදී වෙඩි වැදීමෙන් පසු සිඳු වූ දී මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණේ ඔහුගේ පුත්‍රයාය."....මම තාත්ත ළඟට යනකොට බඩවැල් එළියට ඇවිල්ලා.එතකොටත් තාත්තට සිහිය නෑ.තාත්ත මගේ අතින් අල්ලගෙන හිටියෙ.මම ඇම්බියුන්ස් එකට නගින්න හදන කොට තාත්තා කිව්වා නෑ පුතේ ඔයා ගෙදර යන්න.මම ඉක්මනට එන්නම් .අම්මයි අක්කලයි බලාගන්න.මගේ තාත්ත ජීවිත කාලයට මගෙන් එහෙම ඉල්ලීමක් කරල නෑ.ජීවිතේ ඉල්ලපු එකම දේ එච්චරයි.."මම එන්නම් කියා ඇම්බියලන්ස් එකෙන් ගිය සුනිල් ශාන්ත නැවත ගෙදර ආවේ නැත.2015 ජනවාරි 07 වන දින ඔහු රත්නපුර මහ රෝහළේදී මිය ගියේය.එම මිනිස් ඝාතනයට වැරදිකරු වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට එල්ලුම් ගස් නියම විය.එහිදී ප්‍රේමලාල් ජයසේකර සමග එම ඝාතනයට සම්බන්ධ වූ තවත් දේශපාලඥයන් තිදෙනෙකුටද මරණ දඬුවම දෙන ලදී.ඒ කහවත්ත ප්‍රාදෙශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශනට හා සබරගමු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩිටය.සුනිල් ශාන්ත මරණයට පත් වූ දිනට පසු දින ජනපතිවරණය ජයගත් මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනපති වරයා බවට පත් වූ අතර අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් වූයේ රනිල් වික්‍රමසිංහය.මිය ගිය සුනිල් ශාන්ත පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෙකි.ඔහුගේ අවමංඟල උත්සවයට රනිල් වික්‍රමසිංහ සහභාගි වී තිබුණි.ඒ සහභාගිත්වය හැර වෙනත් එජාප දේශපාලඥයකු සුනිල් ශාන්ත ගේ පවුල ගැන සොයා බැලුවේද නැත.ජනපති මෛත්‍රීපාල ලක්ෂ දහයක මුදලක් සුනිල් ශාන්තගේ බිරිඳට දී අත පිස ගත්තේය.පසුව මරණ දඬුවමට ලක්වී බන්ධනාගාර ගත කර සිටි ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කළ අතර ඔහුට මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට කතානායක වරයා අවස්ථාව ලබා දුන්නේ විපක්ෂයේ විරෝධතාව මැදය.එහිදී විපක්ෂය පෙන්වා දුන්නේ මරණීය දණ්ඩණය නියම වී සිටි ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව දීමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තිය හා 91 වන වගන්තිය උල්ලංඝනය වී ඇති බවටය.කෙසේවෙතත් පසුව මරණීය දණ්ඩනය නියම වී සිටි එම ඝාතකයන් තිදෙනා අභියාචනාධිකරණය මගින් නිදහස් කෙරිණි.මේ ගැන ශාන්ත දොඩංගොඩ ගේ පුත්‍රයා මුහුණු පොතෙහි මෙලෙස සටහනක් ලියා තිබුණි.".....දැන් ඒ අය කියන්නෙ මගේ තාත්තම තාත්තට වෙඩි තියාගෙන මැරුණා වගේ කතාවක්.එතකොට වෙඩි තියපු මනුස්සයෙක් නැද්ද.මේ දේ රටේ මිනිස්සුවත් තේරුම් ගන්න බැරි ඇයි...."මේ දරුවා ලියා ඇති හරියට තේරුම් ගන්න පුළුවන් නම් මෙරට කුණු වූ දේශපාලනයේ හැඩ රුව තේරුම් ගන්නට පුළුවන.ප්‍රේමලාල් ජයසේකර වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී දිවුරුම් දෙන ලද්දේ මේ ආණ්ඩුව යටතේය.සුනිල් ශාන්ත මිය ගියේ සිය පක්ෂය වෙනුවෙනි.ඔහුගේ පක්ෂයේ නායකයා අද රටේ ජනපතිවරයාය.එහෙත් සුනිල් ගේ ජීවිතය ඔහුට බලු බෙට්ටක තරමේ වටිනා කමක් නැත.ඒ බව තහවුරු වන හොඳම සාක්ෂිය වන්නේ පසුගියදා පැවතුන ප්‍රේමලාල් ජයසේකර ගේ දියණියගේ විවාහ මංගල උත්සවයට රනිල් වික්‍රමසිංහ ගේ සහභාගිත්වයයි.සිය පාක්ෂිකයකු මෙලේච්ඡ ආකාරයෙන් මරා දමන ලද මිනීමරුවාගේ දියණියගේ මංඟල්‍යයට කිසිම හිරිකිතයක් නැතුව සහභාගි වන්නට රනිල් වික්‍රමසිංහට හැකි වී තිබුණි.ඒ සුනිල් ශාන්ත මරා දැමුණු ජනපති වරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ සමගය.ඒ මගුලට සහභාගි වූවා පමනක් නොව මනාළ යුවල මැදි කර මහින්ද රාජපක්ෂ එක පසෙක තබා ඡායාරූපයකට පෙනී සිටීමටද රනිල් වික්‍රමසිංහට ලැජ්ජාවක් නැතුවම පුළුවන් වී තිබුණි.මෙවැනි අසික්කිත නායකයන් සිටින දේශපාලන නායකයන් සිටින දේශපාලන පක්ෂ වල ජයග්‍රහණය සදහා මරා ගෙන මැරෙන තරමේ කැපවීම් කරන පහල ඇවරියේ කාඩරයන්ට සුනිල් ශාන්ත ගේ මරණය හොඳ පාඩමක් කියා දී තිබේ.අන්තිමේදී ඒ ගැන ලියන්නට ඇත්තේ උන් ඔක්කොම යාළුවෝ මල්ලී යැයි කියවෙන කියමනය.
Comments
Post a Comment