යුද හමුදාව තුළ ගජබා කුමන්ත්‍රණයක් හෙළිවේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයාට දෙවන වන මාණ්ඩලික ප්‍රධානී තනතුර මේ වන විටත් හිස්ව පවතින බව වාර්තාවේ.පසුගිය ඔක්තෝම්බර් මස 02 වන දින මෙම ධූරය දැරූ මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගන්නා ලද අතර ඉන් අනතුරුව මාසයක කාලයක් ගෙවී ගොස් ඇතත් කිසිම හමුදා නිළධාරියකු ඒ සඳහා පත් කර නැත.මෙම ධුරය මෙසේ පුරප්පාඩුව පවත්වාගෙන යන්නේ ඒ සඳහා සුදුසුකම් සපුරන හමුදා ඡ්‍යෙෂ්ඨයන් සිටියදී වීම බරපතල කරුණක් බව යුද හමුදා ඡ්‍යෙෂ්ඨයන් අතර කතා බහක් නිර්මාණය වී තිබේ.මේ අතර දෙසැම්බර් මාසයේ 30වන දින වර්තමාන යුද හමුදාපති විකුම් ලියනගේ සේවයෙන් විශ්‍රාම යාමට නියමිතය.හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන තාවකාලිකව වැඩ බැලීම සඳහා පත් කර ඇතත් මෙතෙක් ඔහු එම ධුරයේ ස්ථිර කිරීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න කටයුතු කර නැත.මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන යුද හමුදාව තුළ කිසිදු විනය චෝදනාවක් නැති විශිෂ්ටයෙකු ලෙස සැළකෙන අතර ඔහු සිංහ රෙජිමෙන්තුවට අයත් නිළධාරියෙකි.පසුගිය යුද සමයේ ඔහු 58වන සේනාංකයට අනුයුක්තව පෙරමුණේ සටන් වැදි අභීත සෙන්පතියකු වේ.එම සේනාංකය මගින් අඩම්පන් අල්ලා ගැනීමෙන් පසුව ඔහු දෙවන කාර්ය සාධක බලකායට අනුයුක්තව අඩම්පන් සිට වෙල්ලමුල්ලි වයිකාල් දක්වා පැවැති සංග්‍රාමයේදී සිංහ රෙජිමෙන්තුවට අණ දෙමින් යුද ජයග්‍රහණයට දායක විය.හමුදාව තුළ මේ වන විට රෙජිමෙන්තු අතර කුමන්ත්රණකාරී බල අරගලයක් නිර්මාණය වී ඇති බවට වාර්තා වේ.මෙම කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලට හසු වීමෙන් මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගන්වන ලද බව පැවසේ.
අනතුරුව එම ධුරයට සුදුසුකම් ඇති මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන හට ස්ථිර පත්වීමක් නොදී සිටීමට කටයුතු කර ඇත්තේද ඒ කුමන්ත්රණයේ දිගුවක් ලෙසය.මෙම කුමන්ත්රණකාරී වැඩ පිළිවෙල පිටුපස සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න බව හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.කමල් ගුණරත්න ගජබා රෙජිමෙන්තුවට අයත් නිළධාරියකු වන බැවින් වර්තමාන හමුදාපතිවරයා විශ්‍රාම යාමෙන් පසුව ගජබා රෙජිමෙන්තු නිළධාරියකු හමුදාපති ලෙස පත් කිරීමේ ඔහුගේ සැලසුම වී ඇත.මොහු මේ සැළසුම ක්‍රියාත්මක කරමින් සිටින්නේ ජනපතිවරයා පවා නොමග යවමිනි.
යුද හමුදා මූලස්ථානයේ බලය වර්තාමානයේ ගජබා රෙජිමෙන්තුවේ නිළධාරීන් අත්පත් කර ගෙන ඇති අතර එය යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා හිස්ව පවතින මාණ්ඩලික ප්‍රධානී ධුරයේ මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන ස්ථිර නොකරන බව පැහැදිලිය.සිංහ රෙජිමෙන්තුව හමුදාවේ බලය අල්ලා ගැනීම වැලැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න මේ යටි කූට්ටු නින්දිත වැඩ පිළිවෙල දියත් කරමින් සිටී.කෙසේවෙතත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නගේ මෙම කුමන්ත්රණකාරී වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ගජබා රෙජිමෙන්තුව හැරුණ විට අනෙකුත් රෙජිමෙන්තු ප්‍රධානීන් අතර පවතින්නේ නොපහන් බවකි.මෙය යුද හමුදාවේ විනය බිඳ වැටීමක් කරා වර්ධනය විය හැකි බව හමදා ඡ්‍යෙෂ්ඨයන් ගේ නිගමනයයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා ගජබා රෙජිමෙන්තුවට අයත් හමුදා නිළධාරීන් සමග අනෙකුත් හමුදා රෙජිමෙන්තු නිළධාරීන් අතර මතු වී ඇති මේ විරසකය ඉතා බරපතල විය හැකි බවට අපි අනතුරු අඟවමු.කමල් ගුණරත්න මේ සූදානම් වන්නේ ඉල්ලා ගෙන කෑමට බවද සිංහ රෙජිමෙන්තුවේ නිළධාරීන් පවසන බවද අප හට වාර්තා වී තිබේ.
Comments
Post a Comment