යුක්තියේ මෙහෙයුම නිසා තරුණයෙකුට වෘෂණ කෝෂ අහිමි වෙයි
මැදවච්චිය තුලාවේලි ගම්මානයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියක් පදවා ගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකුට මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු විසින් පහර දීමෙන් ඔහු දැඩි රෝගී තත්වයට පත් වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව සිඳු කරන ලද සැත්කමකින් අනතුරුව ඔහුගේ වෘෂණ කෝෂ ඉවත් කරන ලද බව වාර්තා වේ.අනුරාධපුරය රෝහළෙහි ප්‍රකාශකයකු සඳහන් කරන ආකාරයට එම තරුණයා රෝහල් ගත කරන විට ඔහුගේ වෘෂණ කෝෂ බරපතල තැලීමකට ලක් වී තිබී ඇති අතර එය පහරදීමකින් සිඳුවූවක් ලෙසට සැක කෙරේ.
දැනට රෝහල් ගතව සිටින තරුණයා පවසන්නේ තමන් ඩිමෝ බට්ටා ලොරියකින් තවත් මිතුරකු සමග ගමන් කරද්දී පොලිස් මාර්ග බාධකයක් තිබුණ බවත් එහි වාහන රැසක් නවතා තිබූ නිසා තමන් නොනවත්වා ධාවනය කරද්දී පසුපසින් එළවා ගෙන ආ පොලිස් රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනෙකු තම ලොරිය නවතා තමාට පහර දුන් බවය.ඒ සමගම තුන් රෝද රථයකින් පැමිණි පිරිසක් ලොරියේ සිටි තම මිත්‍රයාටද පහර දුන් බව ඔහු වැඩිදුරටත් පවසා සිටී.පසුව මෙම තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලීසියට ගෙන ඒමෙන් පසු ලොරි රථ රියදුරා ලෙස කටයුතු කළ තරුණයා අසනීප වී පොලීසිය විසින් මැදවච්චිය රෝහලට ගෙන යාමෙන් අනතුරුව ඉන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුරය රෝහළ වෙත යවා තිබේ.අනෙක් තරුණයා පොලිස් ඇප පිට නිදහස් කර ඇත.රෝහල් ගත වූ තරුණයාගේ වෘෂණ කෝෂ ඉවත් කරන ලද්දේ අනුරාධපුරය රෝහළෙන් සිඳු කරන ලද හදිසි සැත්කමකදීය.රෝහල් ගතව සිටින තරුණයාගේ මව වන චන්ද්‍රිකා ප්‍රියදර්ශනී මෙසේ පවසා සිටී."....මගේ පුතා ඩිමෝ බට්ටා ලොරිය අරගෙන ගෙදරින් ගියේ ලොරියෙ පොඩි වැඩක් තියෙනවා හදාගෙන එන්නම් කියල.ඒ යන මගදි ලොරියට පොලීසියෙන් අත දාල නවත්වන්න කියල.ඒත් පුතාල ඒක දැකල නෑ.ඊට පස්සෙ ලොරිය පස්සෙන් පන්නගෙන ආ පොලීසියේ ට්‍රැපික් මහත්වරු දෙන්නෙක් පුතාට හොඳටම පහර දීල පොලීසියට අරගෙන ගිහිල්ල.පොලීසියෙදි අසනීප වුන පුතා මැදවච්චිය රෝහළට ගෙනහිල්ල.එතැනින් අනුරාධපුරය රෝහළට අරන් ගිහිල්ල.එහෙදි පුතාට ඔපරේෂන් එකක් කරල පුතාගෙ වෘෂණ කෝෂ අස් කරල දාල.පුතාගෙ බෙල්ල කොන්ද යටි බඩ රිදෙනවා කියලා ඔහු අඬනවා.මගේ පුතාගෙ වයස අවුරුදු 23 යි.පුතා හෙට අනිද්ද කොරියාවෙ රස්සාවකට යන්න හිටියෙ.කෝස් එකට එන්න කියල ලියුම් ඇවිල්ලත් තිබුණා.මගේ පුතාගෙ මුළු ජීවිතයම පොලීසිය කාලකණ්නි කරා.හෙන ගහන්නෝන.මගේ මහත්තය ඉන්නෙත් මැදවච්චියෙ පොලීසියෙ......"එසේ බලන විට මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනා පහරදී ඇත්තේ තමන් සමග එක කල්දේරමේ බත් කන සහෝදර පොලිස් නිළධාරියෙකුගේ දරුවෙකුටය.පහර කෑ තරුණයා තමන්ට පොලීසියෙන් පහර දෙන විට තම පියාද පොලීසියේ බව පවසා සිටින්නට ඇති බව සිතිය හැකිය.එහෙත් මෙම තරුණයාට පහර දුන් පොලිස් නිළධාරීන් ඒ පිළිබඳව අවධානය යොමු නොකරන ලද්දේ මක් නිසාද යන්න අපැහැදිලිය.මෙම තරුණයාට සිදු කළ පොලිස් පහරදීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මෙසේ ප්‍රකාශ කර තිබේ.
පොලීසියෙන් පහර කෑ තරුණයා පදවා ගෙන ගිය ලොරි රථය නවත්වන ලෙසට රථවාහන අංශයේ නිළධාරීන් සංඥා කරද්දිත් ඔහු ලොරිය නොනවත්වා ධාවනය කරල තියෙනවා.පසුව පොලීසිය ලොරිය පිටුපසින් එළවා ගෙන ගොස් මහත් පරිශ්‍රමයකින් එය නවත්වල තියෙන්නෙ.මේ වෙද්දි එම ලොරියෙ සිටි තරුණයන් දෙදෙනා බීමත්ව ඉඳල තියෙන්නෙ.පොලීසිය ලොරිය පිටුපසින් පන්නද්දි මේ ලොරියෙ තිබිල හිස් කසිප්පු කෑන් එකක් පවා එළියට විසි කරල තියෙනවා.මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගන්න යුක්තියේ මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිළධාරීන් පිරිසක්ද සම්බන්ධ වූ බවට වාර්තා වෙනවා.කෙසේ වෙතත් මේ තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් බරපතල විරෝධයක් දක්වල තිබෙනවා.පොලිස් පහරදීම නිසා එම තරුණයාගේ වෘෂණ කෝෂ ඉවත් කළ බවට එම පාර්ශවයෙන් පැමිණිල්ලක් කර ඇති බවත් එම පැමිණිල්ල පිළිබඳවත් පොලීසිය මගින් පරීක්ෂණයක් සිඳු කරනවා.මේ වන විට යුක්තියේ මෙහෙයුම යොදා ගනිමින් පොලීසිය විසින් ජනතාව බරපතල හිංසනයකට ලක් කරන බවට රට පුරා චෝදනා නැගෙමින් පවතී. එහෙත් ඇමති ටිරාන් හා පොලිස්පති දේශබන්දු මෙරට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කිසිවක් මායිම් කරන බවක් නොපෙනේ.පොලිස් බල අධිකාරිය ඉක්මවා කටයුතු කිරීමට පොලිස් නිළධාරීන් මෙහෙයවීම මොවුන් දෙදෙනා විසින් සිඳු කරමින් සිටී.විසි තුන් හැවිරිදිතරුණයෙකුට සිය වෘෂණ කෝෂ අහිමි වී ඇත්තේ ටිරාන් දේශබන්දු එක්ව නටන මේ මෙලේච්ඡ කෙරුවාවේ සැහැසිකම වැඩිදුරටත් අනාවරණය කරමිනි.
Comments
Post a Comment