පොදුජන පෙරමුණ හා ජනපති අතර ගැටුම උග්‍ර වේ
ඉදිරි ජනපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අද දින එහි දේශපාලන මණ්ඩලය තීරණය කළ බව වාර්තා වේ. පසුගිය කාලයේ දිගින් දිගටම පොදු ජන පෙරමුණෙහි ප්‍රධානීන් අතර ජනපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැවතියේ විවාදාත්මක අදහසකි.එහිදී පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සෑම අවස්ථාවකම ප්‍රකාශ කරන ලද්දේ පොදු ජන පෙරමුණෙන් ජනපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ වේ.එහෙත් පොදු ජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලයේ සාමාජිකයන් වන පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමති රමේෂ් පතිරණ ,මොහාන් සිල්වා ,බන්දුල ගුණවර්ධන,කාංචන විජේසේකර,චාමර සම්පත් දසනායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සම්පත් අතුකෝරාළ වැන්නන් පිරිසක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමූණේ ප්‍රබලයන් පිරිසක් පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති මහජන රැළියට පවා සහභාගි වූහ.මේ වන විට පොදු ජන පෙරමුණ හා ජනපති රනිල් වික්‍රමසිංහ අතර දේශපාලනික ගැටුමක් මතු වී ඇති බව පැහැදිලිය.දීර්ඝ කාලයක සිට ජනපතිවරයා ගේ පාර්ශවයේ උත්සාහය වී තිබුනේ පොදු ජන පෙරමුුණ තුළ දේශපාලනික ආරවුලක් ඇති කර එහි ක්‍රියාකාරිත්වය බිඳ දැමීමටය.එහි ප්‍රථම පියවර ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලන්සා ජනපතිවරයා විසින් හීලෑ කර ගත් අතර ඔහු මාර්ගයෙන් පොදුජන පෙරමුණ තුළ රාජපක්ෂ වරුන් සතුව පවතින බල ආධිපත්‍යය කඩා බිඳ දැමීමේ සැලසුමක් දියත් කෙරිණි.ජනපතිවරයාගේ කූඨ දේශපාලන දේශපාලන සැළසුමෙන් දැඩි ලෙස කම්පනයට පත් වූයේ ශිරන්ති රාජපක්ෂය.ජනපතිවරයා ගේ දේශපාලනික උපාය උපක්‍රමයන් තුළ සිය පුත්‍රයාගේ දේශපාලන අනාගතය සුනු විසුනු වී යන බව ඇය වටහා ගත්තාය.ජනපතිවරයා සමග පොදු ජන පෙරමුණ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූයේ ශිරන්ති රාජපක්ෂගේ දැනුවත් බලපෑම මතය.එහිදී පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් ජනපතිවරයාට සහාය දැක්වීම සඳහා ඉල්ලා සිටියේ එකම එක ඉල්ලීමකි.ඒ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස පත් කරන ලෙසය.රාජපක්ෂ පවුලේ ඉදිරි දේශපාලන පැවැත්ම ස්ථාවරව රඳා පවත්වාගෙන යාමට නම් නාමල් රාජපක්ෂ කෙටි කාලීන අගමැතිවරයා වශයෙන් හෝ පත් විය යුතුය.එසේ නැතහොත් ජනපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලන භූමිය තුළ නාමල් රාජපක්ෂ සිල්ලර කාසියක් බවට පත් වෙන බව නිසැකය.තවමත් පොදු ජන පෙරමුණේ රැස් වල්ලල භ්‍රමනය වන්නේ මහින්ද රාජපක්ෂ වටාය.ඔහු ගේ අවසානයත් සමගම පොදු ජන පෙරමුණ සී සී කඩ යන්නට නොදී ආරක්ෂා වීමට නම් නාමල් රාජපක්ෂ දේශපාලනිකව බෞතීස්ම වී සිටිය යුතුය.එහිදී නාමල් රාජපක්ෂට හිටපු අගමැතිවරයා ලෙස මුද්‍රා ගතව සිටීම ඉතා වැදගත් හා නම්බුකාරය.තව දුරටත් පරාජිත පාක්ෂිකයන්ද ඒ ප්‍රකාශනය තුළ ඉදිරියටත් රඳවා ගත හැකිය.එසේ නොමැතිව මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා ලෙස නාමල් රාජපක්ෂට කිසිදු වටිනාකමක් අත් නොවෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.ජනපතිවරයාගේ පාර්ශවය මේ වන විට රාජපක්ෂවරුන් හා ගණුදෙනුව අත් හැර ඇති බව පෙනෙන්නට තිබේ.ගාල්ල පැවැති ජනපතිවරයාගේ ප්‍රචාරක රැළියෙන් පසුව ඒ බව පැහැදිලිව තහවුරු වන සාධකයකි.මේ .ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන පොදුජන පෙරමුණේ ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට බරපතල ප්‍රශ්ණයක් මතු වන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදීය.එය උදාහරණයක් ලෙස දක්වන්නේ නම් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසන්න රණතුංග ජනපතිවරයාගේ පාර්ශවයට එකතු වීමෙන් පසුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු තරග කළ යුතු වන්නේ එජාපයෙනි.එහිදී එජාපයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකත්වය ඔහුට කිසි විටක නොලැබෙනු ඇති බව ස්ථිරය.එසේම රමේෂ් පතිරණට ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප නායකත්වය නොලැබෙන බව නිසැකය.එය එසේ කල්පනා කළහොත් රනිල් වික්‍රමසිංහ මේ සිදු කරන්නේ පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් දැහැටි දඬු බවට පත් කරලීමේ උපක්‍රමයක් වෙන්නටද පුළුවන.ඒ රනිල් වික්‍රමසිංහගේ හැටිය.සිය දේශපාලන අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ තරමේ තක්කඩි ගේම් කාරයෙක් මෙරට දේශපාලනයේ නැත.කෙසේ වෙතත් පැහැදිලිව දකින්නට ඇත්තේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවය.ඔහු ඒ අපේක්ෂකත්වය අත් හරින්නේ නම් එතැන් සිට රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ හංස ගීතය ගැයීමේ ආරම්භයද වන්නේය.
Comments
Post a Comment