ඇත්තටම ඌ අපේ එකෙක්

 


ඔව් ,මගේ කිරි සප්පයා තෙමෙනවා තමා මේ වහින ධාරානිපාත වැස්සට.
ඒත් මට උඹේ කතාව අහන්න ඕන අනුර සහෝදරයා.ඒ මෙන්න මේ කරුණු කාරණා හන්ද.

අපි මෙච්චර කාලයක් හාමුලාට සර්ලට රැවටුනා.අපි විතරක් නොවෙයි උන් මුළු රටම මංකොල්ල කෑවා.උඹල අවුරුදු ගානක් තමන්ගෙ තරුණ ජීවිතේ සුන්දර විඳීම් අමතක කරල මහ පාරට ඇවිල්ල මේ තක්කඩි පෝරිසාදයො ගැන කිව්වා.
ඒත් අපි ඒව ඇහැව්වෙ නෑ.ඒ දවස්වල අපට උඹල දැනුනෙ මේ රට විනාශ කරන කඩාකප්පල්කාරයො විදියට.
ඇත්තමයි ,අපි හිතාගෙන හි⁣ටියෙ මේ අප්පච්චිල,සර්ල, මැඩම්ල අපේ ගැලවුම් කාරයො විදියට.

 උන් අපේ රටේ දේපොළ මංකොල්ල කන බව අපට කියන්න උඹල කටේ ලේ රහ වන තුරු කෑගැහැව්වා.ඒ දවස්වල අපි උඹලට කිව්වෙ පිස්සො කියලා.

උඹලට දෙන උත්තරත් අපේ ගාව මහ ගොඩක් තිබ්බා.අපට ඒ දවස්වල අධිවේගෙන් කතරගම ගිහිල්ල එන එක  ,නෙළුම් කුළුණෙ ලස්සන මාරම මැජික් වුනා.රට බේරගත්තු නායකයා එයාගෙ පුත්තු එයා පස්සෙ හිටි⁣ය මන්ත්‍රීල ඇමතිල අපේ වීරයන් වුනා.අපි එයාල ගැන කවි කිව්වා.සින්දු ලිව්වා. බෝධි පූජා තිබ්බා.තිස්තුන් කෝටියක් දෙවිවරුන් එක්ක අපේ ඇදහිල්ල අස්සෙ උන් හැමදෙනාමත් අපි විශ්වාස කරා.ඒත් අපිට පස්සෙ තමයි වැටහුනේ ඒ මැජික් පෙන්නල මුන් අපේ මහජන මුදල් මංකොල්ල කාල කියල.අපේ මවුබිම නන්නාත්තර කරා කියල. 

උඹල ඒ දවස්වල ආයුද ගත්තෙ තමුන්ගෙ පවුල් වලට මැති ඇමතිකම් ගන්න නොවෙයි කියල අපට ⁣දැන් තේරෙනවා.ඔව් උඹල එහෙම සටන් කෙරුවෙ මේ රටට තියෙන ආදරය කරන නිසා කියල දැන් අපට හොඳටම වැටහෙනවා.උන් අපේ හිත් වලට දාල තිබුණෙ උඹල ත්‍රස්තවාදීන් කියල.ඒත් 
ඇයි උඹල එහෙම පෙරමුණට ආවෙ කියල දැන් තමයි අපට අවබෝධයක් ලැබිල තියෙන්නෙ.ඒ දවස් වල  මවුබිම වෙනුවෙන් ජීවිත පූජා කරපු හිරේ විලංගුවෙ වැටුන සහෝදරවරුන් ගැන ඇහෙද්දි දැන් අපේ ඇස්වල කඳුළු නළියනවා.

මේ රට වෙනුවෙන් කැප වෙලා ඉන්න  උඹල වගේම තමන්ගෙ ජීවිතය දුන්න ඒ තරුණ ජීවිත වලටත් අපි ණයයි.අපේ දරුවොත් ණයයි.ඒ ණය ගෙවන්න දැන් අපට තියෙන්නෙ එකම විදියයි.ඒ මේ අපේ රත්තරන් දේශය  උඹලට බාර කරන එක විතරයි.

දැන් ⁣අපි දන්නවා උඹල අපේම පන්තියෙ සහෝදර සහෝදරියන් කියල.ඒ සුවඳ අපට දැනෙනවා.උඹලගෙ සටන් වලට එරෙහි වුන අපි අද උඹල එක්ක ඉන්නවා.මේ තක්කඩි පෝරිසාදයන් ගෙන් අපේ මවුබිම උඹලට බාර දෙන්න අපි සූදානම් වෙලා ඉන්නෙ.අපි විශ්වාස කරනවා උඹලා අපිට ආදරෙයි කියලා.මේ මවුබිමට ආදරෙයි කියලා.තමන්ගෙ තරුණ ජීවිතේ
 සොඳුරු බව කොන්දේසි විරහිතව අත් හැරල උඹල මෙච්චර කාලයක් ආදරණීය මවුබිම වෙනුවෙන් කරන ලද ඒ කැපකිරීම විශ්වාස කරන්නත් බැරි තරමයි සහෝදරවරුනේ.උඹලටත් තිබුණ කෝටි ගණන් වල⁣ට මේ දේශපාලනය තුළ විකිනෙන්න.ඒත් උඹල ඒ සල්ලි තඹ දොයිතුවක⁣ට මායිම් කෙරුවෙ නෑ.උඹලට උඹලගෙ පවුල් වලට උඹලගෙ දරුවන්ට හොඳට සැප විඳින්නට මේ දේශපාලන ජාවාරම තුළ ඉඩ හැකියාව තිබුණා.ඒත් උඹල විකුනුනේ නෑ.ඒකම ඇති උඹලගෙ ආදරණීය කැපකිරීම ගැන ගණන් හදාගන්න.ඒ කැප කිරීම විශිෂ්ටයි.අති විශිෂ්ටයි.ඒත් අපි දැනටමත් බොහොම ප්‍රමාදයි කියල හිතෙනවා.

කමක් නෑ අපි හිතනවා උඹල ධෛර්යවන්තයි.අවංකයි.අව්‍යාජයි.අපට විශ්වාසයි.මේ ආදරණීය මවුබිම නැවත සුවපත් කරන්න උඹලට පුළුවන්.ඒ ඕනෑකම උඹලට තියෙන බවත් දන්නවා.
උඹලට රට සුවපත් කරන්න තියෙන ඕනෑ කම  මුදල් ගණුදෙනු මත සිද්ධ කරන ජාවාරමක් නොවෙයි කියලත් උඹලගෙ ඉතිහාසය කියවද්දි දැනුම් තේරුම් ⁣තියෙන හැම එකෙකුටම වටහා ගන්න පුළුවන්.

අපි මෙච්චර කාලයක් කාලෙන් කාලෙට උන්ට රට  බාර දුන්නෙ මේ රටේ ජීවත්වුන ඉතිහාස පොත්වල ලියවුන වීරයන්ගෙ ආත්මයන්  නැවත ඉපදිලා කියල හිතලයි.උන් ඒ තරමටම අපි මුලා කෙරුවා.විහාරමහාදේවිලා දුටුගැමුණුලා වගේ තමා එවුන් රඟ පෑවේ.ඒත් එවුන් හැම දෙනාම තක්කඩි පාදඩ කම්බා හොරු.අපි ටකරමට වැසිකිලි පෝච්චියට සිල් රෙද්ද⁣ට රුපියල් දාහට බත් පැකට් එකට අරක්කු බෝතලයට උන්ට රැවටුනා හැම වතාවකම.

ඒත් මේ වතාවෙ අපට උඹල අපේම එවුන් බව අපේ හදවත් වලට දැනුනා.
මැටි ගහපු ගෙයක ඉපදුන දුප්පත් කමින් විඳවපු අපේම පන්තියෙ එකෙක් මෙච්චර සෙනඟක ආදරය සෙනෙහස විඳින කොට අපට දැනෙන්නෙ විශාල ආඩම්බරයක්.ඒ හැඟීම අපට අකුරු වලින් ලියන්න බෑ.මේ රටේ දේශපාලන ඉතිහාසයේ කවරදාවත් දුප්පත් කමට මෙච්චර ආදරණීය වටිනාකමක් ලැබිල නැතුව ඇති.මවුබිම උකසට තියල අපේ ජීවිත අසරණ කෙරුව වංචාකාර දූෂිත හාමු පැලැන්තිය අකුලගෙන යන සැඩ මාරුතයක් වගේ ඒ ආදරය ගම් නියම්ගම් පුරා දෝර ගලාගෙන යන්න පටන් අරගෙන.

අනුර කුමාර දිසානායක සහෝදරයා අපේම ⁣සහෝදරයෙක් කියලයි අපි දැන් හිතන්නෙ.එක බඩ වැල කඩන් මෙලොවට ජාතක නොවුනට අනුර සහෝදරයාට අපේ දුප්පත්කම ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑ.ඒ අපේම අපේ දුප්පත් කම එක්ක ජීවත්වුන එකෙක් නිසා.

"ඇත්තටම, ඇත්තටම, ඌ අපේ එකෙක් "



(ඡායාරූපය/ අනුර සහෝදරයා පසුගියදා සහභාගි වූ ගාල්ල රැස්වීමේදී කඩා වැටුන මොර සූරන වැස්සේ සිය කිරි දරුවා ඉටි රෙද්දකින් මුවා කරගෙන සිටි තරුණ සහෝදරියකගේය)
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා