සරත් ෆොන්සේකා සිහින දැකිය යුත්තේ ඉදිරියේදී මෙරට විපක්ෂ නායකවරයා වීමටය

 


  • ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනපති අපේක්ෂකයා ලෙස බොහෝ නගර වල රැස්වීම් පවත්වමින් සිය ප්‍රචාරක කටයුතු කරමින් සිටී.එම රැස්වීම් සදහා පුරවැසි සහභාගිත්වයක් නොමැත.පුරවැසි සහභාගිත්වයක් නොමැති වුවද ඔහු සදහා ඉඳි කර ඇති වේදිකාව ප්‍රධාන පෙලේ දේශපාලන රැස්වීමක වේදිකාව හා සමානය.මෙරට ජනතාව ත්‍රස්තවාදයෙන් මුදවා ගත් හමුදා නායකයා දේශපාලන විකටයකු වී ඇති බව සමහරුන්ගේ අදහස වී තිබේ.එහෙත් අප එසේ නොසිතන්නෙමු.
    ඔහු ජනපති අපේක්ෂකයා ලෙස හුදකලාව සමාජය වෙත මුදා හරින දේශපාලන පණිවුඩ⁣ය අනාගත ආයෝජනයක් වන්නටද පුළුවන.එම ආයෝජනයේ වටිනාකම තක්සේරු වන්නේ ඉදිරි කාලයේදී මේ රටේ බලයට පත්වන ආණ්ඩුවල හැඩය හා කෙරුවාව අනුවය.

    සරත් ෆොන්සේකා විසින් පවත්වන මහජන සහභාගිත්වයක් නොමැති මැතිවරණ ප්‍රචාරක රැස්වීම් දකින නරඹන විට මෙරට දේශපාලන ඉතිහාසයේ මේ ආකාරයෙන්ම ප්‍රචාරනයේ නිරත වූ දේශපාලඥයන් දෙදෙනෙකු පිළිබඳව සිහිපත් කළ හැකිය.ඒ ජනපතිවරණයට ඉදිරිපත් වූ ආර්.ප්‍රේමදාස හා  අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ නීතිඥ බුද්ධික කුරුකුලරත්න යන දෙපළය.1980 දශකයේ මෙරට පැවති භීෂණයත් සමගම ජනපතිවරණය⁣ට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ආර්.ප්‍රේමදාස ගේ ප්‍රචාරක රැස්වීම් වලට මහජන සහභාගිත්වය අවම විය.එහෙත් ඔහු එම රැස්වීම් පැවැත්වීම අත් හැර නොදැම්මේය.එම අවදියේදීම පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයට තරග කළ නීතිඥ බුද්ධික කුරුකුලරත්න සිය ප්‍රචාරක කටයුතු සඳහා රැස්වීම් හා මහජන හමු නොපවත්වා වාහනයක බැඳ ගත් ඉස්පීකරයකින් සිය අංකය හා නම පමණක් පවසමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇවිද්දේය.ආර්.ප්‍රේමදාසට මෙරට ජනපතිවරයා වන්නට හැකි වූ අතර නීතිඥ බුද්ධික කුරුකුලරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පත් වන්නටද අවස්ථාව උදා විය.මේ දෙදෙනාම ඒ යුගයේ මෙරට සමාජය තුළ පැවැති භීෂණය අතික්‍රමණය කෙරුවේ එසේය.වර්තමානයේ සරත් ෆොන්සේකා ⁣ගේ දේශපාලන සහභාගිත්වයද එවැනි හැඩයක් ගෙන ඇතත් ඔහුගේ අපේක්ෂාවන් ජයග්‍රහණයකින් කෙළවර නොවන බව නම් සහතිකය.ඒ මේ වන විට සමාජය ඉල්ලා සිටින දේශපාලන වෙනස හා බැඳුන ශක්තිමත් දේශපාලන පෞරෂයක් සරත් ෆොන්සේකාට  හිමිකමක් නැති බැවිනි.

    කෙසේවෙතත් සරත් ෆොන්සේකා මේ අවස්ථාවේ අවධානය⁣ට ගත යුතු වැදගත් කාරණයක් තිබේ.ඒ ඔහු මේ හෝරාවේ අත්තිවාරම දමා ගත යුත්තේ  තමන් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩ හසර පාදා ගැනීම බවය.⁣ඉදිරියේ ජනපතිවරයා වශයෙන් පත් වෙන්නා බලයට පත්වී පළමු පැයේදීම වර්තමාන පාර්ලිමේන්තු විසුරවා හරින බව නිසැක කාරණයකි.මෙරට සමාජය මෙවර ජනපතිවරණයෙන් ඉල්ලා සිටින්නේ වංචා දූෂණයෙන් තොරව හා මෙරට සමාජය තුළ නීතියේ ආධිපත්‍යය පිහිටුවන ජනපතිවරයකු බව පැහැදිලිව දකින්නට තිබෙන ලක්ෂණයයි.බොහෝ ජනාධිපති අපේක්ෂකයන් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ස්වරූපයේ පොරොන්දු දෙමින් සිටියද ජනතාව මේ වන විටත් වඩාත් සමීප වී සිටින්නේද වංචාව හා දූෂණය අවසන් කිරීමටත් නීතියේ ආධිපත්‍ය පිහිටුවන බවටත් සහතික කරමින් සිටින ජනපති අපේක්ෂකයා වෙතය.මේ අපේක්ෂාව සමාජය වෙත මතු වූයේ ගෝඨාභය රාජපක්ෂ එලවා දැමීම සඳහා ඇරඹුන මහජන අරගලය තුළිනි.සැබැවින්ම මේ ජනපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය  වන්නේද ගාලු මුවදොර අරගලයේ එම අපේක්ෂාවන්හි  දිගුවක් ලෙසය.

    සමාජය ඉල්ලා සිටින එම ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමෙන් පසුව අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ දේශපාලන කණ්ඩායම වැඩි ජන ප්‍රසාදයකින් ජයග්‍රහණය කරන බවටද සැකයක් නැත.අපගේ ගණන් කිරීම අනුව ජනපතිවරණයෙන් මහජන ප්‍රසාදය සියයට හැත්තෑව ඉක්මවා දිනා ගන්නේ ජජාජබයේ නායක අනුර කුමාර දිසානායක වේ.ඔහු ගේ ප්‍රචාරක රැස්වීම් වලදී ප්‍රකාශනය වන්නේද ගාලු මුවදොර  අරගලයෙන් මහජනතාව තුළ පිළිසිඳ  ගත් අපේක්ෂාවන් නිවැරිදිව ස්ථාන ගත කරන බවය.

    ජාජබයේ නායක අනුර කුමාර දිසානායක මෙරට ජනපතිවරයා බවට පත් වීමෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ කණ්ඩායම පාර්ලිමේන්තු බලය හිමි කර ගන්නා බව නිසැකය.එය එසේ වන්නේ නම් එම පාර්ලිමේන්තුවේ සරත් ෆොන්සේකා වැනි දූෂණයෙන් තොර දේශපාලඥයකු විපක්ෂ නායක වරයා බවට පත් වීමට ඉඩ හසර සලසා ගන්නේ නම් එය මෙරට ජනතාවගේ සුවිශේෂී ජයග්‍රහණ⁣යක් ලෙස සැළකිය හැකිය.ජනපතිවරණයට තරග වදින සරත් ෆොන්සේකා සැබැවින්ම දැන් කල්පනා කළ යුතු වන්නේ හා සැළසුම් කළ යුතු වන්නේ ඒ අවස්ථාව ලබා ගැනීමටය.ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරය⁣ට වංචා හා දූෂණයෙන් තොර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වූ රටක් නිර්මාණය කිරීමේදී විපක්ෂ නායක වරයාගේ අරමුණද සමපාත වීම ජනතාවගේ භාග්‍යයක් වනු ඇත්තේය.

    එසේ නැති නම් එම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කම රාජපක්ෂ පාදඩ කල්ලියට හෝ සජිත් ප්‍රේමදාසගේ ඇහින්දාස් කල්ලියට හිමි වනු ඇත. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්