මාලිමා ආන්ඩුවේ කෙරුවාව යන්නෙ කෙහෙද මල්ලෙ පොල් වාගේය
නීතිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනය හා සම්බන්ධව පැවැති පොලිස් පරීක්ෂණ වල සාක්ෂි වසන් කිරීම පිළිබඳව ගල්කිස්ස අධිකරණයේ නඩු පවරා තිබූ සැකකරුවන් තිදෙනා නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව නියෝග කිරීම සමාජයේ බරපතල කතා බහකට ලක්වූ ආන්දෝලනාත්මක සිද්ධියක් විය.අනතුරුව ඒ අනීතික සිදුවීම ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක් වූ පෙනෙන්ට තිබුණි.නීතිපතිවරයාගේ මේ අනීතික මැදිහත්වීමට එරෙහිව ජනමාධ්‍යවේදීන් අළුත්කඩේ නීතිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධානය කෙරිණි.මේ සියල්ල අවසානයේ නීතිපතිවරයා තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිය ආපසු හකුලා ගත්තේය.
එහෙත් නීතිපතිවරයාට එරෙහිව සමාජය සිදු කළ ප්‍රශ්ණ කිරීම් තවමත් දෝංකාර දෙමින් පවතී.නීතිපති ධුරය මෙරට ව්‍යවස්ථාවටත් වඩා අධිකාරී බලයක් හිමි කර ගත් රාජ්‍ය නිළධාරියෙක් බව නීතිපතිවරයා ගේ පාර්ශවය සිතා සිටින බව පෙනී යයි.ඒ නීතිපති ධුරය විසින් ඉටු කරන ලද රාජකාරිමය පූර්වාදර්ශයන් ගැන සිහිපත් කරමිනි.ජේ.ආර්.ජයවර්ධන ගේ බල අධිකාරිය යටතේ වැටුප් ලබන මෙහෙකරුවෙක් බවට පත් කර ගන්නා ලද නීතිපතිවරයා මහින්ද රාජපක්ෂ ගේ පාලනයේදී වහලෙක් බවට පත් කර ගන්නා ලදී.මේ වන විට නීතිපතිවරයාගේ පාර්ශවය සිය වෘත්තිමය අධිකාරී බලය ගැන පාරම් බාමින් සිටින්නේ විධායක ජනපතිවරයාට හෝ ආණ්ඩුවට ස්වකීය රාජකාරියට අත පෙවීමට හෝ හැසිරවීමට බලයක් නොමැති බවට අඟවමිනි.නීතිපති කාර්යාලය විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී ඉටු කරන ලද සේවාව ගැන දැනුවත් අයෙකුට නම් මේ පාරම් බෑම බඩ කොරවෙන තරමේ විහිළුවකි.ඒ මෙරට සිදුවූ බරපතල අපරාධවල ගොනු අතුරුදන් කිරීමටත් පැවරී තිබුණ නඩු වල නිදහස් කරවීමට ඒ දිනවල නීතිපතිවරයා විසින් ඉටු කරන ලද කාර්ය භාරය ගැන සිහිපත් වන විටය.අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරයකු වූ නයිදුවාඩු ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව නීතිපති කාර්යලයෙන් ඉවත් කිරීමට නියෝග කෙරුවේ සජින් වාස් ගුණවර්ධන නම් කුප්‍රකට ජාවාරම්කරුවාය.කෙටියෙන් සඳහන් කරතොත් ඒ දිනවල නීතිපති වරයා රාජකාරි කෙරුවේ සජින් වාස් ගුණවර්ධන ගේ නියෝගයන් පවා ක්‍රියාත්මක කරන වහලෙක් විදියටය.වර්තමානයේදී නීතිපතිවරයාගේ පාර්ශවය සිය ස්වාධීනත්වය ගැන පාරම් බෑමට පෙර ඒ අශීලාචාර කෙරුවාවන් ගැන නැවත නැවතත් සිහිපත් කර ගැනීම වටී.මෙහිදී අපට සිහිපත් වන්නේ අපූරු සත්වයකු ගැනය.ඒ ලාන්සෙට් ෆ්ලූක් නම් කුඩා පරපුටුවාය.මේ පරපුටුවා සිය ප්‍රජනන ක්‍රියාවලිය සඳහා වමාරා කන සතෙකුගේ ආමාශය තුළට රිංගිය යුතුය.ගවයෙකු එළුවෙකු හෝ බැටළුවෙකු වැනි සතෙකු ඌ සඳහා තෝරා ගනී.එහිදී ඌ තෝරා ගන්නාවාහකයා කුහුඹුවාය.කුහුඹුවකුගේ සිරුර තුළට ඇතුළු වෙන මේ පරපුටුවා කුහුඹු මොලය ආක්‍රමණය කරයි.ඉන් අනතුරුව කුහුඹුවා ගේ ක්‍රියාකාරකම් පාලනය කරන්නේ මේ පරපුටුවාය.කුහුඹුවා තණ කොලයක් උඩට නැගී එහි ලා වාඩි ගෙන සිටින්නේ පරපුටුවාගේ හැසිරවීමෙනි.ඉන් ලිස්සා වැටුනද කුහුඹුවා නැවතත් තණ කොළය මත නගී.ගවයෙකු වැනි වමාරා කන සතකු පැමිණ තණ කොළය කන තෙක්ම පරපුටුවා විසින් කුහුඹුවා මේ ආකාරයට හසුරවයි.කුහුඹවාගේ සියළු ක්‍රියාකාරකම් සිද්ධ වන්නේ මොළය ආක්‍රමණය කළ පරපුටුවාගේ අවශ්‍යතාව අනුවය.අවසානයේදී පරපුටුවාගේ පැවැත්ම සදහා කුහුඹුවා තම ජීවිතය කැප කරන්නේ නොදැනුවත්වමය.මෙරට නීතිපතිවරයා හා ඔහුගේ අත වැස්සන් පුරපුටු ආක්‍රමණයෙන් සිහිය විකල වූ කුහුඹුවන් ලෙස හැසිරෙමින් සිටින බවපැහැදිලිව තහවුරු කර තිබේ.ඒ පරපුටු රාජපක්ෂවරුන් නීතිපති මොළය ආක්‍රමණය කර ඇති බව එහි අධිකාරීමය බලය තුළ සිදු කරමින් සිටින අනීතික කෙරුවාවන් නිසා තවදුරටත් සහතික කර ගත හැකි නිසාය.සැබැවින්ම මේ රාජපක්ෂ පරපුටු ආක්‍රමණය නීතිපතිට පමනක් ලඝු කළ යුතුද නැත.බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ගණනාවක් තවමත් හැසිරෙන්නේ පරපුටු රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණකාරී මෙහෙයවීමෙනි.(මේ පරපුටුවා ගැන තිසරණී ගුණසේකරගේ ලිපියක සඳහන්ව තිබුණි)කෙසේ වෙතත් මේ වන විට නීතිඥ සංඟමයද නීතිපතිවරයාගේ ස්වාධීනත්වය පිළිබඳව ආණ්ඩුවට සිහිපත් කර නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය නිකුත් කර ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩය.නීතිඥ සංඟමයේ සභාපතිවරයා මෙරට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ අවදියේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියේය.මාධ්‍යවේදී රිචර්ඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් ඝාතනය කළ සිදුවීමේදී ඔහුගේ මව වන මනෝරාණී සරවනමුත්තු විසින් තමන්ගේ පුත්‍රයා පැහැරගෙන යන ලද්දේ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ බවට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත සාක්ෂි දෙමින් පැවසුවාය.එහිදී පොලිස් අධිකාරී රොනී ගුණසිංහ වෙනුවෙන් පෙනී සිටින ලද්දේ එවකට නීතිපති කාර්යාලයේ සේවය කළ නීතිඥ අනුර මැද්දෙගොඩය.මනෝරානී සරවණමුත්තු පසු කාලයකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිය පුත්‍රයාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් පැවැති නඩු වාර්තාව ඉල්ලා සිටියාය.එහෙත් එහිදී අනාවරණය වූයේ එම නඩු වාර්තාව අධිකරණයේ නොමැති බවත් එය රජයේ නීතිඥයා වූ අනුර මැද්දගොඩ සන්තකයේ පවතින බවත්ය.ඒ වන විටත් එම නඩු වාර්තාව ලොකරයක දමා සීල් කර නීතිඥ අනුර මැද්දගොඩ අවුරුදු දෙකක කාලයකට විදේශ ගත වී තිබුණි.ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මෑත කාලයකදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඝාතනය කරන ලද සැක කරුවෙකි වෙනුවෙනි.එම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබියදී නීතිපති වරයා විසින් එම සැකකරු නිදහස් කරන ලෙසට ලිඛිතව දන්වන ලදී. එම අවස්ථාවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ තර්ක කෙරුවේ නීතිපතිවරයාට මේ ආකාරයෙන් විත්තිකරුවන් නිදහස් කිරීමට නොහැකි බවටය.එහෙත් මාධ්‍යවේදී ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය සාධාරණීකරණය කරමින් නීතිඥ සංඟමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ආණ්ඩුව වෙත එවන ලද ලිපියේ අන්තර්ගතයත් බලපිටිය අධිකරණයේදී පෙනී සිටි අපරාධ නඩුවේදී නීතිපතිවරයාට එරෙහිව දැක්වූ අදහස් අතරත් ඇත්තේ බරපතල පරස්පරයකි.ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මේ දෙබිඩි ස්වරූපය ප්‍රශ්ණ කරමින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය නිවේදනයක් පවා නිකුත් කර තිබේ.නීතිපතිවරයා අපරාධකරුවන් නිදහස් කිරීමේ සෙල්ලම පටන් ගත්තේ අද ඊයේ නොවේ.එහෙත් මේ සෙල්ලම ආන්දෝලනාත්මක මැදිහත්වීමක් ලෙස සමාජගත වූයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නිදහස් කිරීමෙන් පසුවය.මීට ඉහතදී නීතිපතිවරයා ගේ මැදිහත්වීමෙන් නිදහස් කර ගන්නා ලද නඩු ලැයිස්තුවක් වූ අතර ඒවා සම්බන්ධයෙන් සමාජයේ හෝ මාධ්‍යවල එතරම් අවධානයට ලක් නොවූයේ ඝාතනයට ලක්වූ පාර්ශවයන් ගේ ජීවිත සුපිරි ගණයට අයත් නොවූ ඒවා වීමත් රණවිරු උන්මාදය නිසා වීමත් බව පැහැදිලිය.එම නඩු ලැයිස්තුවේ සංක්ෂිප්තයක් මීට ඉහතදී Sri Lanka brief හි පල කර තිබුණි.කෙසේ වෙතත් මාධ්‍යවේදී ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබූ විත්තිකරුවන් නිදහස් කර යැවීමට නීතිපතිවරයා විසින් ගන්නා ලද වෑයම මහේශාඛ්‍ය සමාජය ඉතා බරපතල ලෙස කම්පනයට පත් කෙරුවේය.එම කම්පනය ජනපතිවරයාට පවා දැනුන බව නිසැකය.එහෙත් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවකු මරා දැමීම සම්බන්ධයෙන් බලපිටිය අධිකරණයෙන් අත් අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ පොලිස් පරීක්ෂක වරයකු නිදහස් කිරීමට නීතිපතිවරයා අනීතිකව මැදිහත් වෙමින් තිබෙන බවට මීට ඉහතදී ආණ්ඩුවේ බලධරයන් වෙත බොහෝ පාර්ශවයන් විසින් දැනුම් දෙන ලදිී.එහෙත් ආන්ඩුව සිටියේ ඒ ගැන කිසිත් නොදන්නා ගානටය.ඇතැම් විට ආන්ඩුවද සාමාන්‍ය මිනිස් ජීවිතයක වටිනාකම ගැන අඩු තක්සේරුවක සිටින්නට ඇත.නීතිපති වරයාට හිතු මතේ රාජකාරි කරන්නට ඉඩ දී සිටින්නට ඇත්තේ ඒ නිසා වන්ටත් පුළුවන.ආණ්ඩුවට ගිණි පත්තුවූයේ මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධිය හා බැඳුුණු නඩුවක විත්තිකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාගේ අධිකාරීවාදී බලපෑමත් සමගය.මෙරට දේශපාලන බලය ලබා ගැනීම සදහා ජනතාව වෙත ලබා දී තිබූ පොරොන්දු ගැන ආණ්ඩුවට නැවත මතක් වූයේද මේ සිද්ධියත් සමගය.කෙසේ වෙතත් ආණ්ඩුවේ ගෙවී ගිය දවස් ගැන විමසන විට පොලීසිය හා අධිකරණය සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග වල අවසානයේ දකින්ට තිබුණේ හත් පොලේ ගා ගැනීම්ය.එක අවස්ථාවක අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හිස නමා ආචාර කරමින් සම්මාන පිදුවේ වැලිකඩ සමූහ ඝාතනයේ අපරාධකරුවාටය.අධිකරණ ඇමතිගේ ඒ අජූත කෙරුවාව ගැන දසතින් විරෝධය මතු වෙද්දී ආණ්ඩුව විසින් තමන්ගේ අධිකරණ ඇමතිවරයා කළ වැරැද්දක් බවට වටහා ගැණිනි.මේ වන විට පොලීසිය තුළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්ය්‍යංශයක් ආණ්ඩුව පත් කර ඇති බව නිවේදනය කර තිබේ.මේ ආයතනය සදහා පත් කර ඇති ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ගේ පැටිකිරිය දේශපාලනිකව ගත් කළ ආණ්ඩුව පිස්සු කෙළින්නේදැයි සිතෙන තරමේය.පොලිස් දෙපාර්තමේන්තුවේ දූෂිතයන් දෙදෙනෙකු ඉහළින් තබා එහි අධ්‍යක්ෂවරයා ලෙස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත් කර ඔහු හට මෙරට සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ විමර්ශනය කිරීමට වගකීම් පවරා තිබේ.මේ පත්කිරීම් වල හාස්‍ය ජනක ස්වරූපය වන්නේ ශානි අබේසේකර ගේ ඉහළ නිළධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ කුජීත වූ චරිත ලෙස හංවඩු ගැසී තිබීමය.ඉන් එක් පොලිස් නිළධාරියෙකු ජනපතිවරණයට පෙර තැන තැන වහසි බස් දොඩමින් සිටියේ ජේවීපී කාරයන් ඝාතනය කර ටයර් දමා පිළිස්සීමකින් තොරව මෙරට නැවත සංවර්ධනය කිරීමට ඉඩ හැකියාවක් නැති බවටය.අනෙකා රාජපක්ෂ වරුන්ගේ සට්ටැඹියෙකි.ඔහු ගේ බිරිඳ පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිණියකද වේ.එපමනක්ද නොවේ මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් දෙදෙනාට එරෙහිව අඩු වැඩි වශයෙන් මේ වන විටක් අපරාධ චෝදනා විභාග වෙමින් තිබේ.සැබැවින්ම ආණ්ඩුව මේ ආකාරයේ විකෘති සහගත පත් කිරීම් කරන්නේ කාගේ අවශ්‍යතාවකටද යන්න තවමත් අනාවරණය වී නැත.එය ආණ්ඩුව කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය බිඳවීම සදහා වූ යම් පාර්ශවයක කුමන්ත්‍රණාකාරී මැදිහත්වීමේ ප්‍රතිඵළයක්ද යන්නත් වටහා ගැනීමට නොහැකිය.ආණ්ඩුවේ මෙවැනි අජූත සහගත ක්‍රියාකාරකම් නිසා ඇස් පනාපිටම ආණ්ඩුව පාච්චල් වෙමින් පවතින බව නම් කිව යුතුමය.එක්කෝ ආණ්ඩුව සිය කෝඩුකාර නොහැකියාව නිසා දේශපාලනිකව අතරමං වී තිබේ.එසේත් නැත හොත් රාජපක්ෂවරුන්ගේ මදාවිකාර බල ආධිපත්‍යය ඩෝසර් කර ගෙන යාමට ආණ්ඩුවට තවමත් ආත්ම විශ්වාසයක් නැත.අප දැන් ආණ්ඩුව තුළින් දකින්නේ පාරක ගමන් කරන හය හතර නොතේරෙන පොඩි එකකු පාරේ තිබෙන බලු බෙටි විනෝදයට පාගමින් යන විදියටය.තමන් පාගා යන බලු බෙටි නරක බව පොඩි එකාට වැටහෙන්නේ වැඩිහිටියකු පෙන්වා දුන් විටය.තමන් කරන හැම වැඩකම නරක මේ ආණ්ඩුව වටහා ගන්නේ සමාජය තුළින් විරෝධතාවක් මතු වන විටදීය.මේ නිසාම ආණ්ඩුවේ මොළය හසුරවන්නේ ලාන්ස්සෙට් ෆූලූක් නැතහොත් රාජපක්ෂ පරපුටුවා විසින් බව අපට සිතේ.
Comments
Post a Comment