ඩීමන් ආනන්ද කියවා එස්ටීඑෆ් රාජකාරි කිරීම වලංගු නැත
විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ලෙස කටයුතු කරන ලද ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එහි රාජකාරියේ නිරතව සිටියදී සිදු කරන ලදැයි පැවසෙන මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ චෝදනා සටහන් වී තිබුණි.එහිදී විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මිනිස් ඝාතනයන් ඔහුගේ අනු දැනුම මත සිදුවූ බව බොහෝ පුරවැසියන් විශ්වාස කරන බව පෙනී යයි.එහිදී එම මිනිස් ඝාතන වලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් අනාවරණය වී නැති නමුත් බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට ඡෙ.නි.පොලිස්පති වරුණ ජයසුන්දර සෘජුව මැදිහත් වූ බවට එම මිනිස් ඝාතනයේ වින්දිත පාර්ශවය චෝදනා කර සිටී.විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් තරුණයකු මරා දැමීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා ලබා ඇත්තේ එම බලකායේ පොලිස් පරීක්ෂක වරයකු වූ කොළඹගේ නම් තැනැත්තෙකි.මේ තරුණයා අත් අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පිහිටි රූ හෝටලය ඉදිරිපිට සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වශයෙනි.එහිදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කොස්ගොඩ සුජී නම් පාතාල ක්‍රියා කාරිකයාගේ සමීපතමයෙකි.එම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගත් තරුණයාද අහුංගල්ල රූ හෝටලය ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කර තිබුණි.එහෙත් පසුව හෙළි වූයේ විෂේශ කාර්ය බලකාය අත් අඩංගුවට ගත් තරුණයා පෙර මිනිස් ඝාතනයට සම්බන්ධ අයෙකු නොවන බවය.මේ තරුණයා ඝාතනයෙන් පසුව පොලීසිය මගින් අපරාධයක් සදහා අත් අඩංගුවට ගත් තරුණයකු ඒ බව හෙළි කර තිබුණි.
කෙසේ වෙතත් නිරපරාදේ ඝාතනය කරන ලද තරුණයාගේ බිරිඳ සිය සැමියා වෙනුවෙන් අධිකරණයේ පිහිට පැතුවාය.එහිදී සිදු කරන ලද මූලික මරණ පරීක්ෂණයෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ එම ඝාතනය සාවද්‍ය මිනිස් ඝාතනයක් බවටය.එම මිනිස් ඝාතනය සිදු කරව ලද විශේෂ කාර්ය බලකායේ පොප කොළඹගේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.එහෙත් නීතිපතිවරයා බලපිටිය මහේස්ත්‍රාත් වරයාට නියෝග කරන ලද්දේ එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු නොකරන ලෙසටය.නීතිපති වරයාගේ එම නියෝගය මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ බරපතල කතා බහකට ලක් වු සිද්ධියක් විය.ඡෙ.නි.පොලිස්පති වරුණ ජයසුන්දර ගේ රාජකාරිමය ක්‍රියා කළාපය සම්බන්ධයෙන් සමාජයෙන් බරපතල විවේචන එල්ල වීමට ගත්තේ එම සිදු වීමෙන් පසුවය.වරුණ ජයසුන්දර හා කොස්ගොඩ සුජී අතර මිත්‍ර සම්බන්ධතාවක් පවතින බවටද චෝදනාවක් එල්ල විය.අහුංගල්ල ප්‍රදේශයේදී කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු ගිය තුන් රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට විශේෂ කාර්ය බලකායේ සෙබළෙකුට එම තැනැත්තාගෙන් සමාව ගන්නා ලෙසට වරුණ ජයසුන්දර බල කරන ලදැයි ප්‍රවෘත්තියක්ද ජනමාධ්‍ය ඒ දිනවල වාර්තා කෙරිණි.ඩෑන් ප්‍රියසාද් මිය යාමට ප්‍රථම මෙරට පාතාල ක්‍රියාකාරිකයන් ලෙස හෙරොයින් ජාවාරමේ නිරත අයළුන්ගේ නම් සඳහන් කරමින් විරෝධතාවක නිරත විය.ඔහු මේ විරෝධතාව පැවැත්වූයේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ සේනා විධායකයා ලෙස කටයතු කරන අවදියේය.එහිදී ඩෑන් ප්‍රියසාද් මෙරට හෙරොයින් ජාවාරම් කරුවන්ගේ ගණනාවක ගේ නම් සදහන් කෙරුවද කොස්ගොඩ සුජීවගේ නම සඳහන් කෙරුවේ නැත.මේ විරෝධතාව ඩෑන් ප්‍රියසාද් විසින් පවත්වන ලද්දේ දේශබන්දු හා වරුණ ජයසුන්දරගේ අවශ්‍යතාවට බවද ඇතැම් මාධ්‍ය හෙළිදරව් කරන ලදී.මෙරට අතීතයේදී ඩීමන් ආනන්ද නම් පොත් ලියන්නකු සිටියේය.ඔහු රචනා කළ පොත් සියල්ලේම කතා නායකයා ජේමිස් බණ්ඩා 007 නම් විය.සැබවින්ම ඩීමන් ආනන්ද පොත් රචනා කරන ලද්දේ එවකට චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කළ ජේමිස් බොන්ඩ් නම් ඉංග්‍රීසි චිත්‍රපට නරඹා එහි කතා වස්තුව අනුසාරයෙනි.මේ පොතක මිල සත හැත්තෑ පහක් විය.පාසැල් යන වියේ ළමුන් අතර ප්‍රසිද්ධ වූ මේ පොත් ළමුන් කියවූයේ දෙමවුපියනට හොරෙනි.එක හුස්මට කියවා අවසන් කළ හැකි එම කතා පොත් වල අන්තර්ගතයේ වූයේ ජේමිස් බණ්ඩා අපරාධ විමර්ශණයක නිරත වෙද්දී මුහුණ පාන්නට සිදු වූ ත්‍රාස ජනක සිදුවීමිය.ඩීමන් ආනන්ද ගේ මාරක කතා පොත් කියවීම වැඩිහිටියන් තහනම් කළද එම පොත් කියවීම නිසාම පොත පත කියවීමට රුචිකත්වය ඇති කර ගත් කියවන්නන් කුලකයක් සමාජය තුළ නිර්මාණය වූ බවද සඳහන් කළ යුතුමය.මේ කුලකයේ සාමාජිකයන් පොත පත කියවීමේ මුල් අත් පොත වශයෙන් ගත හැක්කේ ඩීමන් ආනන්දගේ ජේමිස් බණ්ඩා බව සඳහන් කළ හැකිය.ඩීමන්ආනන්දගේ ජේමිස් බණ්ඩා පොත් සෑම එකකම වාගේ ආරම්භයේදී සඳහන් කළ වැකියක් තිබුණි.එහි සඳහන් වී තිබුණේ මෙසේය.ඇසට ඇසදතට දතලෙයට ලෙයජේම්ස් බණ්ඩා 007මේ වැකිය ඒ දිනවල ඉතා ජනප්‍රිය වැකියක් විය.කෙසේ වෙතත් ඩීමන් ආනන්දගේ මෙම වැකිය විශේෂ කාර්ය බලකායේ උදෘතය කර ගැනීමට තරමේ වටපිටාවක් එහි සේනා විධායක වරුණ ජයසන්දර විසින් එම බලකාය තුළ නිර්මාණය කර තිබූ බවක් සමාජයට දැනෙන්නට පටන් ගෙන තිබුණි.ඒ විශේෂ කාර්ය බලකාය මගින් යම් අපරාධයකට අත් අඩංගුවට ගන්නා සැකකරුවන් ඉන් මිදී පලා යාමට තැත් කරන ලදැයි ඝාතනය කෙරුණ අවස්ථා ගණනාවක් වාර්තා වූ බැවිනි.සමාජය තුළින් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක වරුණ ජයසුන්දරට එරෙහිව පැන නැගුණ චෝදනා නිසාම ජනපති අනුර කුමාර දිසානායකට ඔහු එම බලකායේ සේනා විධායක තනතුරෙන් ඉවත් කිරීමට පවා සිදු විය.මඩකලපුව ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මේ වන විට වරුණ ජයසුන්දර රාජකාරි කරමින් සිටී.ඔහු විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ධුරයෙන් ඉවත් කිරීම නිසා මෙරට අපරාධ රැල්ලක් ඇති වී තිබෙන බවට ඔහුගේ සමීපතම මාධ්‍ය සගයන් පිරිසක් යම් අදහසක් සමාජගත කිරීමේ උත්සාහයක පවා නිරත වෙමින් සිටී.එම මාධ්‍යකරුවන්ගේ පෞද්ගලික චර්යාවන් ගැන ඇගයීමක නිරත වන අයෙකුට ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කරණයේ සැබෑව අනාවරණය කර ගත හැකිය.රාජ්‍ය යාන්ත්‍රණයේ බොහෝ දූෂිතයන් හා ගණුදෙනු කරන මේ පිරිස එම අයවළුන්ගේ දූෂිත ක්‍රියාකාරකම්හි පවතින අපිරිසිදු කළු පැහැය සුදු කිරීමේ දක්ෂයන්ය.වරුණ ජයසුන්දර එළඹෙන මාසයේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සේවයට යාම සඳහා නිර්දේශ කර ඇතැයි පැවසේ.සිය රාජකාරියේදී විශේෂ කාර්ය බලකාය විසින් සිදු,කරන ලද අත්තනෝමතික හා අනීතික මිනිස් ඝාතන පිළිබඳව එහි සේනා විධායකයා ලෙස ඔහුටද පසු වගකීමක් පැවරේ.ඉන් අත් මිදීමට ඔහුට නොහැකිය.මේ නිසාම වරුණ ජයසුන්දරවැන්නකු එක්සත් ජාතීන් ගේ සාම හමුදා රජකාරියට සුදුසුද නැද්ද යන්න රාජ්‍ය බලධරයන් තීරණය කළ යුතුය. විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේදී නිරපරාදේ වෙඩි තබා ඝාතනය කරන ලද තරුණයාගේ පාර්ශවය වරුණ ජයසුන්දරට එරෙහිව අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් කර තිබේ.තවමත් එම නඩුවේ අවසාන විනිශ්චයක් ලැබී නැත.මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වටී.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර හා පෞද්ගලික කෝන්තරයක් අපට නැත.එහෙත් ඔහුගේ රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට පුරවැසියන්ට හිමිකමක් පවතී.වැරදිකාර පූර්වගාමියා දඬුවම් නොලබන සමාජයකඅනුප්රාප්තිකයාද බයක් හැකක් නොමැතිව වැරදි කළ හැකිය.අප ඉගෙන ගත යුත්තේ ඒ පාඩමයි.සමාජය නිවැරිදි කර ගත හැක්කේ මේ සියල්ල නිවැරිදිව වටහා ගත හොත් පමණි.රණවිරු උන්මාදයේ පිරුවටයෙන් වසා දමමින් හා පාතාලයන් මරා දැමිය යුතුය යන අමානුෂික සංකල්පයෙන් රටක නීතිය කෙලසා දැමීම ශිෂ්ඨාචාර සමාජයක නොවිය යුතු මැදිහත් වීමක් බව පුරවැසියන් පවා තේරුම් ගත යුතුය.
Comments
Post a Comment