දයාසිරි ජයසේකරගේ ටොං පච කීම නෝන්ඩි වෙලා



 මා පුංචි සන්දියේ අපේ ගමේ ජීවත්වූ වඩක්ක මුත්තා ප්‍රසිද්ධව සිටියේ අල්ලේ පැලවෙන නැතිනම් ටොං පච දෙසා බාන අයෙක් විදියටය.වඩක්ක මුත්තා ටොං පචයක් පවසන විට එය පවසන්නේ හරිම ගරු ගාම්භීර විදියටය.අසන්නන් සිය කයිවාරුවට කට ඇරගෙන අහගෙන ඉන්නා තරමට වඩක්ක මුත්තා සිය ටොං පචය තාත්විකව අත හරින්නේය.වඩක්ක 

මුත්තා දෙසා බාන බොරුව පැටව් ගහන්නේ අසන්නන්ගේ බාධාවක් නැති විටය.එහෙත් තමන් පවසන පචයක් නෝන්ඩි වූ විට වඩක්ක මුත්තාට හදිසියේම බඩේ අමාරුවක් මතු වේ.ඒ බව තහවුරු කරන්නට ඉමජන්සි අධෝ වාතයක් යවන්ටද උන්දෑට පුළුවන.  එසේත් නැතිනම් ගෙදර උන්දෑ සීනි තේ කොල අරගෙන ඉස්මනට ගෙදර එන්නට දුන් උපදෙස් උන්දෑ⁣ට සිහිපත් වේ.වඩක්ක මුත්තා නෝන්ඩියෙන් ගැලවී අතුරු අන්තරාවක් නැතුව සිය පචය අතර මග හමාර කර ගැලවී යන්නේ ඒ රුකුලෙනි.

මට වඩක්ක මුත්තා සිහිපත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර උන්නැහේ ගේ කන් කෙඳිරිය ඇසෙන විටය.දයාසිරි ජයසේකර උන්නැහේ පසුගිය දවස්වල විපක්ෂයේ වීරයෙක් වී සිටියේය.බිමට වැටී චොර වී සිටින විපක්ෂයට ⁣යන්තමට හෝ කික් එකක් ආවේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ
හතර මුල්ල පනිමින් චීන අඩි කයිවාරු සෙල්ලම් දාන විටය.

දයාසිරි ජයසේකර උන්නැහේ සෙල්ලම් පුතයෙක් නොවේ.⁣ලෝයර් මහත්තයෙකි.
ලෝයර් මහත්තයෙක් යනු අප මෙන් සිල්ලරට ලියන කියවන මනුස්සයෙක් නොවෙි.ලෝයර් මහත්තරු නීතිය දනී.කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි වැනි ඩබල් කයිවාරු ලෝයර් මහත්වරුන් විෂයෙහි වලංගු වන්නේද නැත.ඒත් දයාසිරි ජයසේකර උන්නැහේ ලෝයර් කම පැත්තක තියා වඩක්ක මුත්තාට ආවේෂ වීම ගැන නම් අපට ඇති වන්නේ ඔක්කාරය යන තරමේ අපුලකි.

පසුගිය දිනක දයාසිරි ජයසේකර උන්නැහේ පසු ගිය දින වල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවේ උතුරු මැද පළාත් සභාව භාවිතයෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ කරමින් BMW සහ ප්‍රාඩෝ රථද ඇතුළත්ව සුඛෝපබෝගී වාහන 24 කුණු කොල්ලය⁣ට විකුණා ඇති බවය.මෙහිදී උන්නැහේ වැඩිදුරටත් පැවසුවේ 2014 වසරේ ලියා පදිංචි කරන ලද BMW මෝටර් රථයක් රුපියල් ලක්ෂ පනහකට විකුණා ඇති බවත් එම වාහනයේ වෙළඳපොළ වටිනාකම ⁣රුපියල් කෝටි තුනහමාරකට වැඩි බවත්ය.

දයාසිරි ජයසේකර උන්නැහේ මාධ්‍ය වලට  පැවසූ එම තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ඔහුගේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් උතුරු මැද පලාත් සභාවේ ආණ්ඩුකාර වසන්ත ජිනදාස තුන් තිස් පැයක් ගෙවී යන්නටත් පෙරය.
ආණ්ඩුකාර තැන පැවසුවේ අදාල වාහන සම්බන්ධයෙන් රජයේ තක්සේරුවක් අනුව කටයුතු කරන ලද බවත් එම වාහන අලෙවි කිරීමට පෙර පුවත් පත් තුනක විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් කැඳවූ බවය. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එහිදී ආණ්ඩුකාර තැන පවසා තිබුණි.

දයාසිරි ජයසේකර උන්නැහේට ගිණි පත්තු වූයේ ආණ්ඩුකාර තැනගේ චලෙන්ජුව නිකම්ම නිකම් කයිවාරුවක් නොවන බව ඔළු ගෙඩියට තේරුම් ගන්නට හැකි වූ විටය.උන්නැහේ අද (03) කඩි මුඩියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා 
තමන්ට සිද්ධ වූ ඇබැද්දිය පැවසුවේ මෙහෙමය.

"......මීට දින කිහිපයකට කලින් මා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී
උතුරු මැද පළාත් සභාව විසින් ටෙන්ඩර් කරන ලද වාහන සම්බන්ධව ඉදිරිපත් කළ ගණන් හිලව් සම්බන්ධයෙන් වැරදි තොරතුරු මාධ්‍ය වෙත ඉදිරිපත් කරලා තිබුණා.විශේෂයෙන් මේ තොරතුරු මම ලබා ගත්තේ පුවත්පත් කිහිපයක මේ ගැන සඳහන් වෙලා තිබුණ නිසා.ඒ අනුව තමයි ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි එහෙම කිව්වෙ.නුමුත් ඊයේ වන විට උතුරු මැද පලාත් සභාවෙ ආණ්ඩුකාර තුමා මේ පිළිබඳ ඇත්ත තත්ත්වය ගැන කරුණු ඉදිරිපත් කර තිබෙනවා.ඒ අනුව මා තේරුම් ගත්තා මා සතුව තිබෙන තොරතුරුවල වැරදි ස්වභාවයක් පවතින බව.කිසියම් දේශපාලඥයෙක් විසින්⁣ හෝ පුවත්පතක් විසින් හෝ මාධ්‍ය ආයතනයක් විසින් වැරදි තොරතුරක් පල කර තිබේ නම් එය නිවැරිදි කිරීම මූලික ක්‍රියා දාමයක්.සමාජයට ජනතාවට වග කියන දේශපාලඥයෙක් විදියට  සමහර විට අපට වැරදි තොරතුරු ගලා එන්න පුළුවන්.විශේෂයෙන් ජාතික පුවත්පත් කිහිපයක මේ තොරතුරු සියල්ල අදටත් පලවෙලා තියෙනවා මම දැක්කා.ඒ නිසා මම හිතනවා විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා අනාගතයේ ආණ්ඩුකාරතුමා සමග ඒ තොරතුරු ටික අරගෙන නිවැරිදි තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න.."

අපේ වඩක්ක මුත්තා නම් මෙවැනි ඇබද්දියකදී ඇඟට පතට නොදැනී මාරු වී යන්නට හපනෙකි.ඒත් දයාසිරි ජයසේකර උනනැහේට එසේ මාරුවෙන්නට නොහැකිය.ඒ උන්නැහේම පවසන විදියට උන්දෑ වගකිව යුතු දේශපාලඥයෙක් නිසාය.දැන් උන්නැහේ හිතන්නේ තමන් අතින් සිඳු වූ වැරැද්ද සමාව ගැනීමෙන් කෙළවර කරන්ටය.ආණ්ඩුකාර තැන උන්නැහේට සමාව ⁣භජනය කරන්නේ දැයි අපි නොදනිමු.එහෙත් අපේ ගමේ ජීවත්වූ අහිංසක වඩක්ක මුත්තා ටොං පච ඇද බෑවේ කූරා කූඹියෙකු⁣ටවත් හිංසාවක් පීඩාවක් අපහාසයක් නින්දාවක් නොවන හැඩයටය.වඩක්ක මුත්තා ගේ ටොං පච වලින් ගමේ වුන්ගේ ලේ පිරි සිදු වුනේ බඩ⁣ කොරවෙන තරමට හිනා වීම නිසාය.

එහෙත් දයාසිරි ජයසේකර උන්නැහේ අතේ පැල වෙන බොරු දෙසා බාන්නේ හිතේ වෛරයෙනි.වගකිව යුතු දේශපාලඥයකු ලෙස හා නීතිය දන්⁣නා ලෝයරයකු ලෙස දයාසිරි ජයසේකර උන්නැහේ අතේ පැලවෙන කෙප්ප සමාජගත කර ජනතාව මුලා කිරීම ලේසි පාසු හැසිරීමක් නොවේ.දැන් ඔහු පෙන්වනනේ තොත්ත බබා පාට් එකය.
මුන්දෑ ගේ කෙරුවාව හා කයිවාරුව දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ශෛලියේය.උම්මග්ග ජාතකයේ ගෝටීමන්ද සිටානන් ගැන කියවෙන මේ සඳහන නම් දයාසිරි ජයසේකර උන්නැහේට මරුවට ගලපා ගත හැකිය.

"තවද ඒ ගෝටීමන්ද සිටාණන් වනාහී මියලු නුවර අසූ කෙළක් සම්පත් ඇති සිටු කෙනෙකුව උපන්නද පූරුව ජාතියේ කට නොරැක දොඩමළු වූ අහේතුවෙන් මේ ජාති⁣යේ කට අරින අරින හැම මොහොතකදීම කට දෙකෙළවරින් කුණු කෙල ධාරා ගලා බස්නේ" යැයි උම්මග්ග ජාතකයේ විස්තර කර තිබේ.සැබෑවට ඒ කට  තිබුණ පලියටම දොඩන වක්කඩ  වැනි කට ඇත්තේ  දයාසිරි ජයසේකර වැන්නන්ටමය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා