මදාවිකාර පොලිස්ලාට සිර දඬුවම් ලැබිලා
අවුරුදු 14 ක් වයසැති බාල වයස්කාර දරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන කෲර වද හිංසා කරන ලදැයි චෝදනා කරමින් 1994 අංක 22 දරන වද හිංසාවට එරෙහි පනත යටතේ නඩු පවරන ලද පොලිස් නිළධාරීන් හතර දෙනෙකුට පසුගියදා (11) බළපිටිය මහාධිකරණය මගින් බරපතල සිර දඬුවම් ලබා දී තිබේ.
මේ සිද්ධිය සිදු වී ඇත්තේ 2008 මාර්තු 07 වන දිනය.මෙදින සවස් වරුවේ බුද්ධි ඉවන්ත ගුණසේකරගේ පියා සොයා පැමිණි මීටියාගොඩ පොලීසියේ පොලිස් නිළධාරීන් හතර දෙනෙකු ඔහුගේ පියා නිවසේ නොමැති වීම හේතුවෙන් ඔහු අල්ලාගෙන පොලීසියට රැගෙන විත් තිබේ.පොලීසියට රැගෙන ආ බුද්ධි ඉවන්ත ගුණසේකරට එම පොලිස් නිළධාරීන් අමානුෂික ලෙස වද හංසා පමුණවා ඊට පසුදින එනම් මාර්තු මස 08 වන දින බළපිටිය මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ ඔහු දිවා කාලයේ නිවසක් බිඳ රුපියල් 23000ක් වටිනා දේපොල සොරකම් කිරීම හා සොර බඩු ළඟ තබා ගත් බවට අසත්‍ය චෝදනා නගමිනි.මෙහිදී මහේස්ත්‍රාත්වරයා බුද්ධි ඉවන්ත ගුණසේකර පොලිස් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.පොලිස් ඇප මත මුදා හරින ලද බුද්ධි ඉවන්ත ගුණසේකර නිවසට පැමිණිමෙන් අනතුරුව අසනීප වීම හේතුවෙන් මාර්තු මස 09 වන දින නිවැසියන් ඔහු බලපිටිය මූලික රෝහළට ඇතුළත් කෙරිණි.එහිදී රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පරීක්ෂා කරන තුරු බුද්ධි ඉවන්ත රොහලේ රඳවා ගැනීමට උපදෙස් ලැබුණ මුත් ඉන් පසු කිසියම් බලපෑමකට නතුව ඔහු රෝහලෙන් ටිකට් කපා ගෙන නිවසට ගියේය.එහෙත් අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් දුරකථන ඇමතුමක් දී ඔහු නැවත ගෙන්වා ගෙන රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙන ලදී. ඔහු නැවත රෝහළින් මුදා හැර ඇත්තේ මාර්තු 24 වන දිනය.වෘත්තියෙන් පෙදරේරුවකු වූ බුද්ධි ඉවන්ත ගුණසේනරගේ පියා තම දරුවාට කෲර වද හිංසා පැමිණවූ මීටියාගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී නිශ්ශංක ජයරත්න,උප පොලිස් පරීක්ෂක පාලිත අතුකෝරාළ,පොලිස් කොස්තාපල් කුමාර ගුණසිංහ හා පොලිස් සහායක ලලිත් ද සොයිසාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරන ලදී.එහි නඩු අංකය SC/FR 126/2008 වේ.මේ මානව හිමිකම් නඩුව අතර තුර 2003නොවැම්බර් 06 වන දින වග උත්තරකාර පොලිස් නිළධාරීන් තිදෙනාට හා පොලිස් සහායකයාට එරෙහිව පෙත්සම්කරුට කෲර වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ නඩු පවරන බවට රජයේ නීතිඥ වරයා අධිකරණයට දැනුම් දුන්නේය.එහිදී වග උත්තරකාර පාර්ශවයේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මානව හිමිකම් නඩුව සමථයකට පත් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසය.පෙත්සම්කාර පාර්ශවය එසේ සමථයකට එන්නේ නම් බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව පොලීසිය මගින් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති සොරකම් නඩුව ඉවත් කර ගැනීමටත් ඊට අමතරව ඔහුට වන්දි මුදලක් ලබා දීමටත් සූදානම් බවද එම නීතිඥවරුන් පවසන ලදී.එහෙත් පෙත්සම් කාර පාර්ශවයේ නීතිඥවරුන් එම සමථයට එකඟ නොවීය.ඉන් අනතුරුව පොලිස් නිළධාරීන් තිදෙනාට හා පොලිස් සහායකයාට බළපිටිය මහාධිකරණයේ නඩු අංක 1678 යටතේ නඩු පැවරිණි.කෙසේ වෙතත් ඒ අතර තුර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව පවරා තිබූ සොරකම් කිරීමේ නඩුව 2014 ජුලි මස 19 වන දින නීතිපති උපදෙස් පරිදි ඉවත් කර ගැනීමට මීටියාගොඩ පොලීසිය ක්‍රියා කරන ලදී.ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ මානව හිමිකම් නඩුවේ තීන්දුව 2017 අගෝස්තු මස 11 වන දින ලබා දුන් අතර ඒ අනුව වග උත්තරකාර පාර්ශවයේ පොලිස් නිළධාරීන් හට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් පෙත්සම්කාර පාර්ශවයට ගෙවන ලෙසට නියෝග කෙරිණි.ඊට අමතරව නඩු ගාස්තු වශයෙන් රුපියල් හැත්තෑ පන්දාහක් ගෙවන ලෙසට තීන්දු කර තිබේ.බළපිටිය මහාධිකරනයේ පවරා තිබූ නඩුවේ තීන්දුව පසුගිය 11 වනදා මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශයට පත් කෙරුවේ විත්තිකාර පොලිස් නිළධාරීන්ට එල්ල කර ඇති චෝදනා සැකයෙන් තොරව තහවුරු වී ඇති බව පවසමිනි.මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ දින වන විට මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ශ්‍රී නිශ්ශංක ජයරත්න පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන තිබුණි.ඔහුට අවුරුදු අටක ලිහිල් සිර දඬුවමක් නියම වූ අතර රුපියල් ලක්ෂයක දඩයක් ගෙවීමටද එම දඩය නොගෙවන්නේ නම් තවත් අවුරුද්දක ලිහිල් සිර දඬුවමක් ලබා දීමට නියෝග කෙරිණිපොලිස් පරීක්ෂක අතුකෝරාළ හට අවුරුදු නවයක බරපතල වැඩ ඇතුව සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක් දඩයක් හිමි විය.දඩ මුදල නොගෙවන්නේ නම්බරපතල වැඩ ඇතුව තවත් වසරක සිර දඬුවමක් තීන්දු කෙරිණි.පොලිස් සැරයන් කුමාර ගුණසිංහට හා පොලිස් සහායකුව සිටි ලලිත් සොයිසා හටද බරපතල වැඩ ඇතුව අවුරුදු 08 බැගින් සිර දඬුවම් නියම කෙරුණේය.වයස අවුරුදු 14 ක්ව සිටියදී පොලීසියේ කෲර වද හිංසාවට ගොදුරු වූ බුද්ධි ඉවන්ත ගුණසේකර හට යුක්තිය සාධාරණය අධිකරණය මගින් ඉටු කරන විට ඔහු වයස අවු 31 ක කරුණයෙකුව සිටියේය.
Comments
Post a Comment