පොලිස්පති නියෝග ගණන් නොගන්නා මීටියාගොඩ පොලීසිය
බළපිටිය මූලික රෝහළෙහි හෙද කාර්ය මණ්ඩලයේ හෙදියන් හා හෙද නිළධාරීන් කිහිප දෙනෙකුට විමර්ශනයක් සඳහා කට උත්තර ලබා ගැනීමට මීටියාගොඩ පොලීසියට පැමිණෙන ලෙසට පොලිස් පණිවුඩ එවා ඇතැයි වාර්තා වේ.මේ පොලිස් පණිවුඩ වල සඳහන්ව ඇත්තේ විමර්ශනයක් සඳහා කට උත්තර ලබා ගැනීමට පොලීසියට පැමිණෙන ලෙසටය.එම පොලිස් පණිවුඩය නිසා හෙද හෙදියන්ගේ නිවැසියන් තුළ බරපතල ප්‍රශ්ණකාරී තත්වයක් මතු වී ඇත්තේ තමන් පොලීසියට කැඳවා ඇත්තේ කවර කාරණයක් නිසා දැයි එහි සඳහන් නොවීම නිසාය.
සැබැවින්ම ඒ පිළිබඳව පසුව සොයා බැලීමේදී එම හෙද හෙදියන්ට දැන ගැන්මට ලැබී ඇත්තේ තමන් සේවය කරන වාට්ටුවට ඇතුළත් කරන ලද වෙඩි වැදී ගෙන ආ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙම හෙද හෙදියන් කැඳවා ඇති බවය.කෙසේ වෙතත් කිසියම් විමර්ශනයක් සඳහා පුරවැසියකු පොලීසියට කැඳවීමේදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෑතකදී නිකුත් කරන ලද චක්‍රලේඛය මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තඹ දොයිතුවකට ගණන් නොගැනීම කණගාටුවට කාරණයකි.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදිය.මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක SCFR 266/2023 නඩුවේ තීන්දුවට අදාලව පොලිස්පතිවරයා විසින් 2025 අගෝස්තු 02 දිනැතිව RTM 101 හා ORTM 61 අංකයන් සහිතව මේ චක්‍රලේඛ උපදෙස් නිකුත් කර තිබෙි.විමර්ශන කටයුතු සඳහා තැනැත්තන් පොලිස් ස්ථානවලට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීම යනු ශීර්ෂයෙන් සඳහන් කර ඇති මේ චක්‍රලේඛයේ විමර්ශනයකට අදාලව යම් තැනැත්තකු සාක්ෂිකරුවකු වශයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීමේදී එකී තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳව ප්‍රමාණවත් දැනුම් දීමක් එකී තැනැත්තා වෙත කළ යුතු බව සඳහන් වේ.පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ චක්‍රලේඛය නිකුත් කර ගෙවී ගොස් ඇත්තේද මාස කිහිපයකි.එහෙත් එම උපදෙස් මීටියාගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ගණන් නොගැනීම ඉතා කණගාටුදායකය.

Comments
Post a Comment