අනුර සහෝදරයාගේ ආදරණීය හෘද සාක්ෂිය විමසමු
මහජන රැළියට එන ජනපති වරයා දරුවන් වඩා ගත්තේ
ය.ඒ වඩා ගන්නා දරුවන් උඩ දමා සිනාසෙන්නේය.මුළු රටම වශී වී බලා සිටියේ ජනපතිවරයාගේ ඒ ආදරණීය දරු හුරතලයයි.
එහෙත් ඒ කෙරුවාව රඟ පෑමක් බව දන්නේ ජනපතිවරයාගේ සමීපයේම සිටිනා එවුන් දෙතුන් දෙනෙක් පමණි.ඒ දන්නා එවුන් නම් ජනපතිවරයා ගේ මේ රඟපෑමේ තාත්විකත්වය හොඳින් දැන සිටියේය.රැස්වීමට එන ජනපතිවරයා වඩා ගන්නේ අහඹු ලෙස ඇස ගැසෙන දරුවෙකු නොවේ.ඒ වඩා ගන්නා දරුවා ගැන තීරණය කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ ලොක්කාය.කහ රතු නූල් හා සුර බෙල්ලේ බැඳ ගෙන සිටි දරුවන්ට ජනපතිවරයාගේ හුරතලයට අවස්ථාවක් උදා වන්නේම නැත.ඒ ජනපතිවරයා හා ඔහුගේ මුළු පවුලම ගුරුකම් වලට බය හන්දාය.ඒ දරුවා කැත කුණු පෙරා ගත් දරුවකුද නොවිය යුතුය.ජනාධිපති ආරක්ෂක අංශයේ නිර්නායකයන් මත පිහිටා සියලු සුදුසුකම් සපුරා ඇති දරුවකු වඩා ගෙන ඒ රැස්වීම් භූමියේ සිටින මවක ජනපතිවරයා වේදිකාවට එන මග රඳවා තබා ගන්නේ එම ආරක්ෂක අංශයෙනි.ඒ රඳවා ගැනීම ගැන එම මවට හෝ හාංකාවිසියක් තරමේ දැනීමක් ඇති නොවන ආකාරයට මේ මෙහෙයුම සිඳු වේ.මව හා දරුවා අසල රැකවල් ලා රැඳී ඉන්නේ ජනපති ආරක්ෂක අංශයේ නිළධාරියෙකි.ඒ අසලින් ගමන් කරන ජනපතිවරයා තමන් වඩා ගත යුතු දරුවා හඳුනා ගැනීමට ඒ සංඥාව හොඳටම සෑහේ.දක්ෂ නළුවෙකුට රඟපෑමට තිර පිටපත කට පාඩම් කර ගත යුතු නැත.
අපේ කතානායකයා වූ ජනපතිවරයා නළුවෙකු වූයේ නම් මැරෙන තුරුම දක්ෂ නළුවා සම්මානය ගැනීමට තරමේ අති දක්ෂයෙක් විය.එහෙත් ඔහු ඒ ප්‍රතිභාව තමන්ගේ දේශපාලනයට නිර්මාණශීලීව යොදා ගත්තේය.ඔහු එම දක්ෂතාව සම්බන්ධයෙන් කෙතරම් ප්‍රවීනත්වයක් දැරුවේද යන්නට ඇති එකම සාක්ෂිය රටේ ජනතාවය. සැබැවින්ම ජනතාව ඔහු අතිශයින් දක්ෂ රඟ පාන්නෙක් බව තවමත් නොදනී.ඒ බව දන්නේ ඔහුගේ පවුලේ අයවළුන් හා ඔහු වටා සිටින පළමු වලල්ලේ අය පමණය.ඉක්මනින් කෝපයට පත් වන ඔහු අසභ්‍ය වචනයෙන් බැණ වැදීමටද සූරයෙකි.
කේන්තිය ඉක්මවා ගිය හොත් ඒ කේන්තියට ලක් වන්නාට බඩ පුරා කෑමට සිඳුවේ.එහෙත් ඒ ක්ෂණයෙන්ම තමන් ඉතා සැහැල්ලුවෙන් ඉන්නා බව පෙන්වීමටද ඔහුට පුළුවන.මේ ජනපතිවරයා වෙනින් කවුරුවත් නොවේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂය.
අප මේ පූර්විකාව ලිව්වේ ජනපති අනුර සහෝදරයා රටේ පුරවැසියන්ට දක්වන අසීමිත ආදරය කියන්නටය.අනුර සහෝදරයා රඟ පාන්නෙක් නොවේ.ඔහු දරුවකුගේ අතින් අල්ලා ගන්නේ ආදරණීය බව නිසාම මිස මීඩියා ගේමකට නොවේ.මීඩියා ගේම් ගසා මහජනතාව රැවටීම ගැන අදහසක් ඔහුගේ තුන් හිතකවත් නැත.හිටපු ජනපති අප්පච්චිලා පුරවැසියන් ගොනාට ඇන්දූ විදියට රඟපෑමේ පුරුද්දක්ද ඔහුට නැත.පසුගියදා ජනපති අනුර සහෝදරයා රදැල්ල ප්‍රදේශයේ කළ සංචාරයේදී තේ දළු නෙළන මවකගේ දෑත් හෘදයාංගම ශීලීව පිරි මදින ඡායාරූපයක් අපට දැක ගත හැකි විය.එහි නිරූපනයක් නොවන බව එම ඡායාරූපය බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.ජනපති අනුර සහෝදරයාගේ මුහුණේ ඇඳී ඇති ශෝකාකූල හා බැරෑරුම් ස්වභාවය මානුෂිකත්වය ඉක්මවා යන තරමේය.ඒ මවගේ දෑතේ කර ගැට ඔහු කම්පනයට පත් කර තිබේ.ඒ මව සිය දෑත් ජනපතිවරයාට පෙන්වා සිනාසේ.එහෙත් ජනපති අනුර සහෝදරයා එයට ප්‍රතිචාර දක්වන්නේ දුක්මුසු මුහුණෙනි.ඔහු ඒ දෑත් දැක දුකට පත්වූ බව පැහැදිලිය.මුළු රටම ගොනාට අන්දා රඟපාන ජාතියේ අප්පච්චීට වඩා අනුර සහෝදරයා වෙනස් වන්නේ දුක් විඳින පුරවැසියන් ගැන ඔහු තුළ රැඳී පවතින ආදරණීය හෘද සාක්ෂියේ මව්වත් බව නිසාමය.

Comments
Post a Comment