ලංකා දවසේ උපන්දිනය අදයි
ලංකා දවසේ නවවන උපන්දිනය අදය.
බොහෝ දුෂ්කරතා මැද අප පසු කළ ගමන් මග ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. අප නිරන්තරයෙන් පෙනී සිටියේ යුක්තිය හා සාධාරණය වෙනුවෙනි.පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂාව සඳහාය. රජුන් ඇමතියන් කියන කියන දේ දෙකට නැමී ලියා තුනට නැමී ඔප්පු කොට වරදක් තිබුණහොත් හතරට නැමී යාප්පු වන ලියන අප්පුලා ලංකා දවසේ හතර මායිමේවත් නැත.සැබවින්ම ලංකා දවස නිරන්තරයෙන් පෙනී සිටියේ ලේඛන කලාව "ලෙව කන කලාවක්" ලෙසනොව ආඩම්බරකාර හා නම්බුකාර වෘත්තියක් ලෙසට සමාජගත කිරීම සඳහාය.
එහිදී මෑත භාගයේදී මෙරට සිදු වූ දේශපාලන පරිවර්තනයේදී ලංකා දවස කොන්දේසි විරහිතව පෙනී සිටියේ ප්‍රතිමත්තිමය ආණ්ඩුවක් බලයට පත් කරවීම සඳහාය.එවකට බලයේ සිටි තක්කඩි දේශපාලඥයන් ගැන අප තොරතුරු අනාවරණය කරමින් සිටින විට විදුලි සංදේශ නියාමන කොමිසම ලවා අපගේ ශ්‍රී ලාංකික මාධ්‍ය සහභාගිත්වය සිර කර දමන්නට ඒ දූෂිත දේශපාලඥයන් මැදිහත් විය.එදා ඒ දූෂිතයන් අපට දැමූ විලංගුව තවමත් එසේමය.ජාජබ ආණ්ඩුවේ කෙරුම්කරයන් ගණනාවකට අප සිර කර ඇති ඒ අනීතික විලංගුව ගලවා දමන ලෙසට අභියාචනා ඉදිරිපත් කෙරුවෙමු.එහෙත් ඒ කිසිවෙකුත් ඒ ගැන ඇහැක් ඇර බැලුවේ නැත.අපට ඒ ගැන ඇත්තේ කණගාටුවකි.එහෙත් ඒ කණගාටුව අප ප්‍රශ්ණයක් කර ගත්තේද නැත.එහි ඇත්තේ කළෙහිගුණ නොදන්නා උද්දච්කම බව සිතුවද වරදක් නැත.
අප මේ වන විට ඒ සඳහා අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹ තිබේ.නීතිඥ අචලා සෙනෙවිරත්න අප වෙනුවෙන් ඒ සඳහා පෙනී සිටින්නීය.ඇය අප වෙනුවෙන් මේ හෝරාවේ පෙනී සිටින්නේ මසුරන් වලට නොවන බව ඉතා හෘදයාංඟමව සිහිපත් කළ යුතුය.එසේම අප හට යුක්තිය ඉටු කිරීම උදෙසා ඇයගේ පෙනී සිටීම පිළිබඳව අප විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංඟම් වෙත දැනුම් දෙන ලද නමුත් මේ කෙරුමිකාර සංඟම් වලට ඒ ගැන ඔළුව බර ගතියක් දැනුනේ නැත.කෙටියෙන්ම සඳහන් කරන්නේ නම් ඒ මාධ්‍ය නිළමේලා ලංකා දවසට දමා ඇති විලංගුව පඩේකට ගණන් ගත්තේ නැත.
ප්‍රශ්ණයක් නැත.අප ලිවීම අත් හැර නැත.දාඩිය මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙක වියදම් කර අප ලංකා දවසට හුස්ම පිඹින්නේ කිරියෙන් කා පැණියෙන් අත හෝදා ගන්නටද නොවේ.එය එසේ වූයේ නම් රුපියල් කෝටි ගණනකට ලංකා දවස අලෙවි කරන්නට අපට ඉඩ හැකියාව හා අවස්ථාව තිබුණි.ලංකා දවස ගැනීම සදහා ගැනුම්කරුවන්ද සිටි නමුත් අප ඒ ඉල්ලීම් ප්‍රතික්ෂේප කෙරුවෙමු.අඩුම තරමේ අප ලංකා දවස පවත්වාගෙන යාම සඳහා කිසිවෙකුගෙන් ආධාර ඉල්ලා කන්නලව් කර නැත.
මේ මව්බිම තුළ නීතියේ ආධිපත්‍යය හා යුක්තියේ සාධාරණත්වය අපගේ සිහිනය වන්නේය.අප පෙනී සිටින්නේ ඒ සඳහාය.ඊයේ පෙනී සිටියේත් ඒ වෙනුවෙනි.හෙට දවසේදීත් අපගේ ඒ කාර්ය භාරය නොවෙනස් වනු ඇත.අප සමග මෙතෙක් කාලයක් රැඳී සිටිමින් ලංකා දවස දිරි ගැන්වූ ඔබට අපගේ හෘදයාංගම ආචාරය පිරි නැමේ.
අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු.
.png)
Comments
Post a Comment